හරක්කටා මරන්න හදන තැත ඇත්තක්ද? – උසාවිය වාර්තාවක් ඉල්ලයි

316

අතුරුපස දෙන්න ඥාතීන්ට අවසර

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා පොලිස් සැරයන්වරයකු විසින් ඝාතනය කිරීමට තැත්කරන බවට ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී එකී මරණීය තර්ජනය කර ඇති බැවින් සීසීටීවී දර්ශන ලබාගෙන එම විමර්ශනය සිදුකරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර එම සැකකරුට සති අන්ත දිනවලදී ආහාර ලබාදෙන විට අවශ්‍ය අතුරුපස ලබාදීමට ඔහුගේ ඥාතීන්ට අවසර ලබාදෙන ලෙසට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ඔහුට සති අන්ත පුවත්පත් ලබාදෙන ලෙසට ද වැඩිදුරටත් නියෝග කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාසිටින එම සැකකරු ඇතුළු සැකකරුවන් නිරීක්‍ෂණය කිරීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පෙරේදා (17 දා) පස්වරුවේ පැමිණි අවස්ථාවේදී එම සැකකරු කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඒ සඳහා අවසර ලබා දෙමින් එම නියෝගය කර තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment