ඊශ්‍රායල හා සාකච්ඡා කළ ලිබියානු ඇමැතිනිය ගෙදර යවයි

454

ලිබියාවේ විරුද්ධවාදියකු වන ඊශ්‍රායලයේ විදේශ කටයුතු ඇමැතිවරයා සමග අවිධිමත් ලෙස හමු වී සාකච්ඡා පැවැත්වූ ලිබියානු විදේශ කටයුතු ඇමැතිනි නජ්ලා අල් මෑන්ගවුෂ්ගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ලිබියානු අගමැති අබ්දුල්හමිඩ් අල් ඩිබෙයිබා විසින් පියවර ගෙන තිබේ. පලස්තීනයට දැඩි ලෙස සහයෝගය දක්වන ලිබියාව ඊශ්‍රායලය පිළි නොගන්නා අතර එවැනි වාතාවරණයක් යටතේ ලිබියානු විදේශ කටයුතු ඇමැතිනිය විසින් ඊශ්‍රායල විදේශ කටයුතු ඇමැති එලි කොහෙන් හමු වී සාකච්ඡා පැවැත්වූ බවට වාර්තා වීම මෙම පියවර ගැනීමට හේතු වී තිබේ. ප්‍රධාන පෙළේ සාකච්ඡාවකට නොවූවද ලිබියානු විදේශ කටයුතු ඇමැතිනි මෑන්ගවුෂ් විසින් ඊශ්‍රායල විදේශ කටයුතු ඇමැතිවරයා මුණ ගැසී ඇති බව වාර්තා වීමත් සමගම ලිබියානු කථානායක කාර්යාලය එම හමුව මහා පාවාදීමක් ලෙස හඳුන්වා ඇති අතර ලිබියානු අගමැති ඩිබෙයිබා විදේශ කටයුතු ඇමැතිනියගේ සේවය අත්හිටුවමින් ඇයට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. අදාළ හමුව ඉතාලියේ

අගනුවර වන රෝමයේ පැවැත්වී ඇත්තේ ඉතාලි විදේශ කටයුතු ඇමති ඇන්ටෝනියෝ ටජානිගේ මැදිහත් වීමෙන් බවට ඊශ්‍රායලය විසින් ප්‍රකාශ කර ඇත.

මෙම පුවත සැළවීමත් සමගම කෝපයට පත් ලිබියානු ජාතිකයන් පිරිසක් අගනුවර වන ටි්‍රපොලි නගරය හා වෙනත් නගර කිහිපයකට රැස් වී පලස්තීනයේ ධජය ලෙලවමින් මාර්ග අවහිර කරමින් හා ටයර් ගිනි තබමින් සිය විරෝධය පළ කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment