ඇසළ සඳෙන් උදාවූ සිත් සනහාලන දහම් සිසිලස

210

ක්‍රිස්තු පූර්ව හයවැනි සියවස ජන විඥානය අලුත් මගකට යොමු කළ විශේෂිත කාල පරිච්ඡේදයකි. “කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි” යන න්‍යායට අනුව ජීවිතය හා ලෝකය පිළිබඳව යථාවබෝධය ලබා ගැනීමට උත්සුක වූ පිරිස මෙකල බහුල වූහ. එහිලා ක්‍රියාකාරී වූ පිරිස බ්‍රාහ්මණ සම්ප්‍රදාය හා ශ්‍රමණ සම්ප්‍රදාය යන දෙයාංශයටම අයත් වූහ. බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනුගමනය කළවුන් කාමසුඛල්ලිකානුයෝගය නම් ශරීරයට අධික සැප දීමෙන් විමුක්තිය සාධනය කළ හැකි යැයි විශ්වාස කළ අතර, ශරීරයට අධික දුක් දීම නම් වූ අත්තකිලමතානුයෝගය අනුගමනය කළෝ ශ්‍රමණ සම්ප්‍රදායිකයෝ ය. උපරිම ලෙස ජීවිතයට සැප දෙමින් සිට ජීවිතයේ සැඳෑ සමයේ සන්‍යාසි හෙවත් මුනිවරයකුගේ තත්ත්වයට පත්වී විමුක්තිය ලබා ගත හැකි යැයි මුල් පිරිස විශ්වාස කළ අතර දෙවැනි පිරිස අනගාරික ජීවිතයක් ගත කරමින් ඉතා කටුක දුෂ්කර ප්‍රතිපත්ති පූර්ණයෙන්ම විමුක්තිය අපේක්ෂා කළහ. මෙම සම්ප්‍රදා දෙකම අනුගමනය කළ පිරිස දහස් ගණනින් දඹදිව පුරා විසිරී පැතිරී සිටියහ.

ශ්‍රමණ සම්ප්‍රදායෙහි ක්‍රියාකාරිකයකු ලෙස සිදුහත් බෝසතාණන් වහන්සේ ද විමුත්ති ගවේෂණයෙහි යෙදෙන්නේ මෙම අවධියෙහිමය. පූර්වකෘත පුණ්‍ය මහිමයත් සසර පුරන ලද බෝධි සම්භාර ධර්මයනුත් මෙහෙයවන ලද විදර්ශනා ප්‍රඥාවත් පදනම් කරගනිමින් ජීවිතය හා ලෝකය පිළිබඳ පූර්ණ වැටහීම හෙවත් සර්වඥත්වයට පත් වූ බුදුපියාණන් වහන්සේ සත් සති ගත කිරීමෙන් අනතුරුව තමන් ලත් අත්දැකීම අවබෝධ කළ සකල ලෝකවාසී ජනතාවට ඉදිරිපත් කිරීමේ මූලික පියවර ආරම්භ කළේ ඇසළ පුන් පොහෝ දිනයකය. මිනිස් ගණනින් පස්දෙනෙක් සහිත අටළොස් කෙළක් දෙව් බඹුන් උදෙසා ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වීම, සංඝ ශාසනයේ ප්‍රාරම්භක පිරිස වූයේ පස්වග තවුසන් ය. බරණැස ඉසිපතනයේ මිගදායෙහි වැඩසිටි කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන බමුණු පිරිස තමන් හා එක්ව පෙර සත්‍ය ගවේෂණයෙහි යෙදී සිටි නිසා තමන් අවබෝධ කර ගත් ගැඹුරු ධර්මය ඔවුනට අවබෝධ කරලීම පහසු විය. ධර්ම දේශනාවසානයෙහි මුහුකුරා ගිය බුද්ධියකින් හෙබි කොණ්ඩඤ්ඤ හිමියෝ සෝවාන් ඵලයට පත් වූහ. එනිසාම අඤ්ඤා කොණ්ඩඤ්ඤ යන අභිධානයෙන් බුදුරදුන් වෙතින් පැසසුම් ලදහ.

ධම්ම චක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙහි අන්තර්ගතය බුදුදහමෙහි හරය යි. ප්‍රථමයෙන් එහි සඳහන් වන්නේ සමකාලීන සමාජයෙහි විමුක්ති ගවේෂණයෙහි යෙදුණ අය විසින් අනුගමනය කළ වැරදි ප්‍රතිපදා දෙකක් පිළිබඳවයි. එනම් ශරීරයට අධික සැප දීම නම් වූ කාමසුඛල්ලිකානුයෝගය හා ශරීරයට අධික දුක් දීම නම් වූ අත්තකිලමතානුයෝගය යි. ඒවා හීන වූ ග්‍රාම්‍ය වූ පෘථ-ජනයන් විසින් සේවනය කරනු ලබන අනාර්ය වූ අනර්ථය පිණිස හේතු වන වැරදි පිළිවෙත් දෙකක් බව අවධාරණය කර අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් ද පෙන්වාදී ඇත. එය මධ්‍යම ප්‍රතිපදාව යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් ද එය හැඳින්වෙයි.

අනාදිමත් සසර ගමනක යෙදෙන සත්ත්වයා දුක් විඳිමින් සසර සැරිසරන ස්වභාවය දුක්ඛ ආර්ය සත්‍යයෙන් පෙන්වා දී ඇත. එය තවදුරටත් විග්‍රහ කරමින් ඉපදීම, දිරාපත් වීම, ලෙඩවීම, මරණයට පත්වීම අප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම අපේක්ෂා බිඳවැටීම කොටින්ම පංචස්කන්ධයම දුක් සහිත වන බව කරුණු අටකින් පැහැදිලි කොට ඇත.

අනතුරුව දුකට හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ තණ්හාව යි. ආශාව කැමැත්ත ආදරය, රාගය, ප්‍රේමය ඡන්දය, මමත්වය, සෙනෙහෙස වැනි වචනවලින් එම අදහසම කුළු ගැන්වෙයි. එයද කොටස් තුනකින් යුතු වෙයි. එනම් විෂයාශ්වාද, රසයෙහි යෙදෙන පංච කාම සම්පත් විඳීම නම් වූ කාම තණ්හාවත්, සත්ත්වයා සදාකාලික යැයි කියැවෙන ශාස්වත දෘෂ්ටිය වන භවතණ්හාවත් මරණින් මතු උපතක් නැතැයි යන අදහස ඇති උච්ඡේද වාදය වන විභව තණ්හාවත් ය.

ඉනික්බිතිව දේශනා කරන්නේ දුක නැති කිරීමෙන් ලබන සැනසීමයි. එය නිවීම හෙවත් නිවනයි. සසර පැවැත්මට හේතු වන සියලු ධර්මතා ප්‍රහීන කළ විට නැවත ප්‍රතිසන්ධියක් නොලැබේ. තව විධියකින් ප්‍රකාශ කරන්නේ නම් තණ්හාව නිරවශේෂයෙන් නැති කිරීම, අත්හැරීම වැළකීම, මිදීම, නොඇලීම නිවනයි. හතරවනුව දැක්වෙන්නේ නිවීමෙහි මගයි. එය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

චතුරාර්ය සත්‍යය පිළිබඳ දැනීම නම් වූ සම්මා දිට්ඨිය පළමුවැන්නයි. නිවැරැදි සංකල්පනා දෙවැන්නයි. එවැනි සංකල්පනා තුනකි. අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප යනු එම තුන යි. මෙම මාර්ගාංග ත්‍රිවිධ ශික්ෂාවෙහි පඤ්ඤා කොටසට අයත් ය.

තුනවැනි මාර්ගය නම් සම්මා වාචාව ය. එනම් බොරු කීම, කේලාම් කීම, හිස් වචන කීම, පරුෂ වචන කීම යන වචී දුෂ්චරිතයෙන් ඈත් වීම ඉන් අදහස් කෙරේ.

සිව්වැනි මාර්ගය වන්නේ සම්මා කම්මන්තය. කාය සුචරිතයට අයත් ප්‍රාණ ඝාතය, හොරකම හා වැරදි කාම සේවනය යන කරුණුවලින් වැළකීමයි.

පස්වැනි අංකයට අයත් වන්නේ සම්මා ආජීවයි. නිවැරැදි දිවි පැවැත්මයි. වැරදි ජීවනෝපායයෙන් වැළකීම ඉන් අපේක්ෂා කෙරේ. නොකටයුතු වෙළෙඳාම් ආදියෙන් වැළකී ධාර්මික ජීවනෝපාය මාර්ගයන්හි යෙදීම අනුමත ක්‍රමයයි. ඉහත මාර්ගත්‍රය අයත් වන්නේ සීල කොටසටය.

සම්මා වායාම හයවැනි මාර්ගයයි. නිවැරැදි උත්සාහය වන නූපන් කුසල් ඉපිදවීම උපන් කුසල් වැඩිදියුණු කිරීම නූපන් අකුසල් නූපදවීම උපන් අකුසල් දුරු කිරීම යන උත්සාහය ඉන් අදහස් කර ඇත.

හත්වැන්න සම්මා සතියයි. නිවැරැදිව සිහිය පිහිටුවීම ඉන් අදහස් කෙරේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර කරුණෙහි සිහිය පිහිටුවා ගැනීම ඉන් අපේක්ෂිතය.

සම්මා සමාධි යනු අටවැනි මාර්ගයයි. සිතෙහි යහපත් එකඟකම මෙයින් අදහස් කර ඇත. නා නා අරමුණුවල විසිරී යන හිත සුදුසු කර්මස්ථානයක පිහිටුවා වැඩීම සමථ භාවනාව ද වෙයි. චරිත වර්ග හයට අනුරූපව කර්මස්ථාන සතළිසක් විසුද්ධි මාර්ගයෙහි පෙන්වාදී ඇත.

ඉහත අංග තුන ත්‍රිවිධ ශික්ෂාවෙහි සමාධි කොටසට අයත් වෙයි.

මෙම සූත්‍රයෙහිදී ඉහත චතුරාර්ය සත්‍යය ධර්මය සත්‍ය ඤණ, කෘත්‍ය ඤණ හා කෘතඤාණ යනුවෙන් තුන් ආකාරයකින් වර්ග වන ආකාරයක් දක්වන අතර ඒ අනුව ද්වාදසාකාරයට පෙරළෙන අයුරු විස්තර කර ඇත.

දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳ පෙර නො ඇසූවිරූ ධර්මයන්හි මට නුවණැස පහළ විය. තත්ව ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යා ඥානය පහළ විය. මෝහය දුරු කරන ඥානාලෝකය පහළ විය යනුවෙන් දුක පිළිබඳ සත්‍ය ඥානය ලැබූ බව ප්‍රකාශ කොට ඇත. දෙවනුව එම දුක පිළිසිඳ දැකිය යුතුය (පරිඤ්ඤෙයිය) යන කෘත්‍ය ඥානය පහළ වූ බව දේශනා කළහ. තුන්වෙනුව ඒ මේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිසිඳ දැන ගන්නා ලද්දේ යැයි (පරිඤ්ඤාතන්ති) යන කෘත ඥානය පහළ වූ බව දේශනා කළහ. මේ ලෙස දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමි” පටිපදා ආර්ය සත්‍ය යන සත්‍ය සතරම පිළිබඳ දොළොස් ආකාර වූ වැටහීම ලද බව දේශිතය.

තමන් වහන්සේ චතුරාර්ය සත්‍යය පිළිබඳ මෙම ත්‍රිපරිවෘත ද්වාදසාකාරය අවබෝධ නොකරගන්නා තුරු තමා සම්මා සම්බුද්ධ යැයි ලෝකයට ප්‍රකාශ නොකළ බව ද සඳහන් කොට ඇත. අවසාන වශයෙන් දේශනා කර ඇත්තේ යම් කිසිවක් හට ගැනීම (සමුදය) ස්වභාව කොට ඇත්තේ ද ඒ සියල්ල නැතිවීම (නිරෝධය) ස්වභාව කොට ඇති නිසාය.

මෙම දේශනාව ඇසීමෙන් සතුටට පත් වූ භූමස්ථ (බූමාටු) දෙවිවරු වෙනත් මහණෙකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ලෝකයේ අන් කිසිවකු විසින් හෝ නොපැවැත්විය හැකි වූ අනුත්තර වූ ධර්ම චක්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයෙහි මිගදායෙහිදී පවත්වන ලදැයි සාදුකාර දුන්හ. ඒ අසා චාතුම්මහාරාජික දෙවියන්ගේ පටන් අකනිට්ඨක දෙවියන් දක්වා වූ දෙවිවරු සාදුකාර දුන්හ.

ජීවිත විමුක්තියට එකම මඟ වූ මෙම චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගෙන ලෝකෝත්තර නිවනට පිවිසීම ඉහළම බුද්ධ පූජාව වන්නේය.

නැවත පළකිරීමකි.

මක්කානිගොඩ අස්සජී හිමි

advertistmentadvertistment
advertistmentadvertistment