විශ්වාසයෙන් නොකඩවා ජපමාලය යදින්න – රොනී පොන්සියස් පියතුමා

55

ජපමාලය යදිමින් ජනතාව වෙත සමීප වන්න. “ස්වර්ගයට යා හැකි කෙටිම, සෘජුම, ඉක්මන් නිශ්චිත මාර්ගය ශුද්ධ වූ ජපමාලය” බව ශුද්ධ වූ ලුවී මාරි ද මොන්ෆට් මුනි පියතුමා පවසයි. දිනපතා සන්ධ්‍යාවේ ශුද්ධ වූ පවුල් ජපමාලය භක්තියෙන් යදින්න. යුද, කෝලාහල නිමාවී ලෝක සාමය ඇතිවන ලෙස විශ්වාසයෙන් යදින්න. ඔබ දේවමාතාවන් වහන්සේ ඉදිරියේ දිනපතා දණින් වැටී යදින්නේ නම් එතුමිය අප සියලු කරදර උපද්‍රවයන්හිදී අප සමඟ නැගී සිටින බව, එතුමිය නැගී සිටින කල කිසිදු අයකු අපට විරුද්ධව නැගී නොසිටින බව කොළඹ අගරදගුරු පදවි මරිය හමුදා අදියුරු පොන්සියස් රොනී පෙරේරා පියතුමා පැවසුවේ, 1981 ජුනි 25 වැනි දින ස්වර්ගස්ථ වී වදාළ ලැපටිය පියතුමාගේ මූලිකත්වයෙන් අරඹන ලද මාකෙවිට ශුද්ධ වූ ත්‍රිලෝක රාජේශ්වරී කාන්තා ප්‍රිසීඩියමේ රැස්වීම් වාර 2000 සපුරමින් වසර 42 ක් පුරා මරිය භටයන් කළ සේවාව ඇගයීමට පාත්‍ර කරමින් ‘ඉරුදින ආත්ම සොයා යෑම’ යටතේ පසුගිය දින සාංවත්සරික ඉරුදින යාගය පවත්වමිනි.

උන්වහන්සේ තවදුරටත් කතා කරමින් නොපමාව, නොපිරිහෙළා කතෝලික නිවෙස් බැහැදැකීම, යහන්ගත, රෝහල්ගත රෝගීන් බැහැදැකීම හා ඔවුන් උදෙසා යාච්ඥා කිරීමත්, උපස්ථාන කිරීමත් තවදුරටත් උද්‍යෝගයෙන් ඉටුකිරීමට තම දේශනයේදී අවධාරණය කරන ලදී. අප යදින හැම නමෝ මරියකින්ම ආත්ම ගැලවෙන බව එය සිත්හි තබාගෙන විශ්වාසයෙන් ශුද්ධ ගිනිස්ථානයේ ආත්ම ගැලවීම උදෙසා ද යාච්ඥා කිරීමට අනුබල දෙන ලදී. දිව්‍ය පූජාවට පැමිණි කිතුනුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් නව සාමාජිකත්වය ලබමින් සහකාර සහ ක්‍රියාකාරී මරිය භටයන් ලෙස ක්‍රියා කිරීමටත්, එලෙසම පිරිමි සහෝදර දායකත්වය ලබාගනිමින් මිශ්‍ර ප්‍රිසීඩියමක් ලෙස ඉදිරියට කටයුතු සැලසුම් කෙරිණි. මෙම අවස්ථාව හිටපු මීසම් සේවක මැල්කම් කන්දප්පා පියතුමා විසින් සැලසුම් කර, දින නියම කරනු ලදුව වත්මන් මීසම් සේවක ප්‍රසන්න ක්‍රිස්ටෝෆර් පියතුමා ප්‍රමුඛ මරිය භටයන් විසින් අනගි ලෙස සංවිධානය කර තිබුණි. ප්‍රදේශවාසී ආරාධිත ක්‍යුරියා නිලධාරී සහෝදර සහෝදරියන් ද සහභාගි විය.

ලයනල් පී. පෙරේරා

විශ්වාසයෙන් නොකඩවා ජපමාලය යදින්න - රොනී පොන්සියස් පියතුමා
advertistmentadvertistment
advertistmentadvertistment