සිංහල ගීතය කොයිබටද?

561

කලාව සහ මිනිසා එකිනෙකට බද්ධ වූවකි. තම ලෝකය රසවිඳීමට මිනිසා කලාව නිර්මාණය කරගන්නා අතර ඒ නිර්මාණය වන කලාව හරහා අපි ලෝකය රසවිඳින්නෙමු. මෙම නිර්මාණාත්මක කලාව තුළින් බිහිවුණ ගීතය අතීත සහ වර්තමාන සමාජයන් තුළ මහත් පෙරළියක් සිදුකරන්නට සමත්ව ඇත. හැත්තෑව සහ අසූව දශකයේ ලාංකේය කලාව තුළ බැබලුන සිංහල ගීතය එකල සමාජයීය සහ මානුෂීය සංවර්ධනයට දැඩි බලපෑමක් එක් කළේය. එම ගීත කලාව වර්තමාන ලාංකේය සමාජය තුළ ඉටු කරන්නේ කුමන කාර්ය භාරයක්දැයි විමසිය යුතුමය.

 අතීත මිනිසා තම හැඟීම් සහ අත්දැකීම් ජන කවිය තුළින් අනෙකාට සමීප කරවූ අතර කාලයත් සමග එය සිංහල ගීතයේ ආරම්භය සනිටුහන් කිරීමට මුල්ගල තැබුවේය. ඒ අනුව ප්‍රේමයේ හිමි වීම, වියෝව සහ අප්‍රකාශිත ප්‍රේමයේ සලකුණු ගීතය තුළින් වැඩි වැඩියෙන් මතුවන්නට පටන් ගත්තේය.

 හිමි වීම ද අහිමි වීම ද ප්‍රේමයේම කොටසකි. එකල ගීත රචකයා ප්‍රේමයේ වියෝව දරාගත් හැටි හරි අපූරුය.

 ‘අහිමි උනත් නුඹ ළඳේ…මට
 හඬන්න අවසර නෑ…’

 නුඹ අහිමි බව සැබෑය. නමුත් කඳුළකදු හෙළන්නට මට අවසරයක් නැත. ඒ වචන කිහිපය තුළ ගැබ්ව ඇති වේදනාව ගීතයට යොදා ඇති තනුව හරහා තවත් තීව්‍ර කරයි. වික්ටර් රත්නායකයන්ගේ හඬ ඊටම ගැළපුණකි.

 ඉන් ඔබ්බට යමින් ප්‍රේමයේ වියෝව තවත් අපූරු ආකාරයකට විඳ ගන්නා පෙම්වතෙකුගේ ප්‍රකාශයකට අමරසිරි පීරිස් සිය හැඟුම්බර හඬ මුසු කරයි.

 “සොඳුරිය කාලය කොතරම් නපුරුද
 දිවි හිමියෙන් කඳුළැලි සඟවාගෙන
 රැකගත් ආලය උදුරාගෙන ගිය
 කාලය කොතරම් නපුරුද සොඳුරිය…”

 ඔහුට ඇයව අහිමි කරවූයේ කාලයේ නපුරු බව යැයි ඔහු ඇයට පවසයි. ඇගේ වෙන්ව යෑම පිළිබඳව ඔහු තුළ අල්ප මාත්‍රයකුදු වෛරයේ සලකුණක් නැත. අර්ථ රසය සමග ශබ්ද රසය මුසු වූ හැඟුම්බර ගීතයකට කදිම උදාහරණයකි.

 එකල සිංහල ගීතය විරහව මෙලෙස හැඟුම්බර ලෙස දරාගත්ත ද නව්‍යකරණය වූ වර්තමාන ගීතය ප්‍රේමයේ වෛරී සලකුණු අත්විඳින බවට චෝදනා රැසකි.

 “ගැළපෙන්නෙ නෑ කියලා අපේ හඳහන
 වැළපෙන්න බෑ අත්හැරලා මට ඔබ
 සැනසෙන්න හරි දිනෙක වැනසෙන්නට
 සුදු ඔබව ඔනේමයි මේ කොල්ලට…”

 පැරණි සිංහල ගීතය විරහව ආදරෙන් වැළඳගෙන සමුගන්නා පාර්ශ්වයට හදවතින් සුබ පැතුම් එක්කරන විට වර්තමානයේ තරුණ ගීත රචකයින්ට සැනසෙන්නට හෝ වැනසෙන්නට අත්හැරීමට නියමිත ප්‍රේමය අවශ්‍යමය. වැනසෙන්නට නම් ප්‍රේමයක අවශ්‍යතාවය කුමක්ද? එය හුදෙක් ශාරීරික ගනුදෙනුවක් මිස හදවතෙහි බැඳුමක් නම් විය නොහැකිය. නමුත්, මෙවන් බොළඳ, අර්ථ විරහිත ගේය පද අතර ශබ්ද රසයෙන් සහ අර්ථ රසයෙන් ඔප් නැංවුණු නාරද විජේසූරියන් අතින් ලියැවුණු ‘නෙලා ගැනුමට නොහැකි වූව ද අත්හැරීමත් නොවේ ප්‍රේමය…” සහ අභිෂේකා විමලවීර විසින් ලියැවුණු “මතක” ගීතයන් වර්තමාන සිංහල ගීතයේ ඉතා හොඳ ප්‍රවණතාවයන්ය.

 තව ද, සිංහල ගීතය තුළ ස්ත්‍රිය ඉතා ඉහළින් නිරූපණය කරයි. ස්ත්‍රී ලාලිත්‍ය සහ ස්ත්‍රී සෙනෙහස නවමු ආකාරවලින් වර්ණනා කරයි.

 ‘ඔබේ සිනා ළඟ නෙත නැවතුන දා
 ඔබේ කතා ළඟ සිත නැවතුන දා
 ප්‍රේමය හැඳින්නෙමී…”

 ගීතාංජලී වික්‍රමසිංහගේ අතින් ලියැවුණ මෙම ගීතයට ජගත් වික්‍රමසිංහයන්ගේ හඬ උපරිම සාධාරණයක් ඉටු කරයි. තම පෙම්වතා හෝ පෙම්වතියගේ සිනහව සහ කතා කරන ඇස් දෙක තමාට ප්‍රේමය කුමක්දැයි පසක් කරදුන් බව ඉන් පවසයි.

 ඇය ප්‍රේමය යනු කුමක්දැයි එලෙසින් හඳුනාගන්නා විට, ස්ත්‍රියගේ රුව පිළිබඳව නව පරපුරෙන් ඇසෙන්නේ මෙවැන්නකි.

 “හිරට තදට කොටට යටට
 ඇඳල කොහෙද යන්නෙ
 පද්ද පද්ද
 පස්ස පස්ස පස්ස පස්ස…

 පැනලා සීමා මගෙ
 දැකලා ළැම ඇගෙ
 වදිනවා අන්න ටකේ
 ලෙමන් පෆ් එකෙන් දෙහි මිරිකලා
 වගෙ ගන්නම් මං උඹ කරකලා…”

 සම්ප්‍රදායික ගීතයේ ව්‍යුහය පමණක් නොව ශබ්ද රසය ද අර්ථ රසය ද සහමුලින්ම විනාශ කොට අවසන්ය. පහත් ආශාවලින් පිරුණු, සම්භාව්‍ය සංගීතයේ ආභාසය අහඹුවකින් හෝ නොලද පරපුරක් විසින් තරුණියකගේ සුන්දරත්වය ගැන කතා කරන විට මීට වඩා වැඩියමක් බලාපොරොත්තු වීම උගහටය. මෙවන් බාල නිර්මාණයන් අතර නව පරපුරට අර්ථවත්, හැඟුම්බර ගීත දායාද කරන රවී සිරිවර්ධනයන් ස්ත්‍රී සුන්දරත්වය මෙලෙසින් වචනවලට පෙරළයි.

 “එන්න එළියට සොඳුර දැන්
 ඔබ පතා තරුමල් අවදියෙන්
 සඳ ඔබට පරදින හැටි බලන්නට
 එන්න සොඳුරිය දොර ඇරන්…”

 සොඳුරිය, නුඹ එන්න දොර ඇරන් එළියට. තාරකා බලාගෙන ඉන්නෙ නුඹ එනකල්. මේ සඳ බෙහෙවින් සුන්දරයි. නමුත් නුඹ ඊටත් වැඩියෙන් සුන්දරයි. මේ රැයේ දිදුළන පූර්ණ චන්ද්‍රයා පැරදිය හැකි අයකු මේ ලොව වේ නම් ඒ නුඹම පමණයි. ඉතින් සොඳුරිය නුඹ ඇවිත් මේ සඳ පරදන්න.

 ප්‍රේමය, ප්‍රේමයේ විරහව හැරුණු විට අප්‍රකාශිත ප්‍රේමයේ සලකුණු ගීතය තුළින් දැකිය හැකි අවස්ථා එදා මෙන්ම අදද සුලභය.

 “කඳු පාමුල සිට දැහැනට සමවැද
 මා ගයනා ගී ඔබට ඇසෙනවද
 කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන
 ආල වඩන සඳ කිඳුරු ලියේ…”

 ආත්මා ලියනගේ සිය ළයාන්විත හඬ ගීතයට මුසු කරන්නේ අසන්නා මොහොතකට ඈත ලෝකයකට ගෙන යමිනි.

 “නුඹේ ළෙංගතුකමට
 හිතින් මා පෙම් කළ තරම්
 නොකිව්වට මම කියයි නුඹ හට
 වැව රවුමෙ රොබරෝසියන්…”

 මේ ප්‍රේමය ගැන මා නුඹට නොකීවට කම් නැත. නුඹ ඇවිද යන වැව රවුම, පිපුණ රොබරෝසියන් ඒ ගැන හොඳින් දනී. ඉතින් මගේ ආදරය මා නුඹට ප්‍රකාශ කළ යුතුමද? දීප්ති ජයසූරිය අප්‍රකාශිත ප්‍රේමයේ උත්තරීතර බව එසේ වචනවලට පෙරලන අතර තරිඳු දම්සර ගීතයට සංගීතය එකතු කරන්නේ කල්පනාගේ හඬට සමීපව යමිනි.

 ප්‍රේමයෙන් ඔබ්බට ගිය ගීත රචකයා රටේ පවතින් දේශපාලනික සහ සමාජයීය පසුබිම අර්ථ රසය, ශබ්ද රසය සහ හාස්‍ය රසය මුසු කරමින් ගීත රචනයේ යෙදෙයි. මෙහිදී ෆ්‍රෙඩී සිල්වාගේ “කපුටුලන්තෙ” ගීතය වර්තමානයේ අප රටේ බෙහෙවින් ප්‍රසිද්ධියට ලක් විය. කලක් කිසිදු කතාබහකට ලක් නොවූ මෙම ගීතය ආදිත්‍යා හේරත්ගේ නැවත ගායනයත් සමග එය තරුණ පරපුර අතර කතාබහට ලක් විය. හාස්‍ය රසය උපරිමයෙන් අන්තර්ගත මෙම ගීතය අදට කාලෝචිතය.

 ඒ අනුව සිංහල ගීතයේ අර්ථාන්විත බව පිළිබඳව විමසන විට රචකයින්ගේ බුද්ධි මට්ටම් සහ නිර්මාණශීලිත්වය ඒ සඳහා මූලිකව බලපා ඇත. පළමුව ගුවන්විදුලි මාධ්‍යයෙන් පමණක් ඇසුණු ගුවන්විදුලිය නිසා සුරැකුණු ගීත අදවන විට රූපවාහිනිය සහ අන්තර්ජාලයේ ආගමනයත් සමග ඇතැම් අවස්ථාවල අර්ථය විනාශ වෙමින් පවතී. එයට හේතුව ගීතයට රූප රාමු එක්කිරීම ඇරඹීමයි. ඇතැම් රූප රාමු ගීතයේ අර්ථය ඔප් නැංවුවද වර්තමාන බොහෝ නිර්මාණ අසන්නාගේ සිතීමේ ශක්තිය හීන කරයි.

 සිංහල ගීතයේ නූතන ප්‍රවණතාවය ගුණාත්මක බවින් ඉහළ නැංවීමට බොහෝ පිරිසක් වෙහෙසුණද වර්තමාන තරුණ පරපුර වැඩි වශයෙන් වැළඳගන්නා ජනප්‍රිය සංස්කෘතිය තුළ එය තරමක වෙහෙසකර ක්‍රියාවකි. මන්ද යත්, අද වන විට සිංහල ගීතය වාණිජකරණයට ලක්ව ඇති නිසාය. වාණිජමය ප්‍රතිලාභයන් මුල් කොටගෙන නිර්මාණය වන ගීත සම්භාව්‍ය ගීතයට වඩා වැඩි ඉක්මනින් තාරුණ්‍යය හදවත් ස්පර්ශ කිරීම සම්භාව්‍ය සිංහල ගීතයේ මළගමෙහි සංකේතයකි. තවද, අමරසිරි පීරිස් සහ අමරදේවයන්ගේ සම්භාව්‍ය ගීතයන් රැප් කොට විකිණීම නිසා නොබෝ කලකින් සිංහල සම්භාව්‍ය ගීතයේ සහ යොහානිගේ රැප් සංගීතය අතර වෙනසක් නොවනු ඇත. ගීත නිර්මාණය විය යුත්තේ මානුෂීය ගුණදම් සංවර්ධනය වීම සහ වෛරී සලකුණු ඉවතලීම යන කාරණා මුල්කොට ගෙනය. එවිට රටක භෞතික සංවර්ධනයට එය කදිම පිටිවහලකි.

 කෙසේ වෙතත් ගීත රචකයාගේ අනාගත වගකීම විය යුත්තේ වාණිජකරණය පසෙකලා ශබ්ද රසය සහ අර්ථ රසය සුරකිමින් සිංහල ගීතයේ ව්‍යුහය විනාශ නොකොට ගීත රචනයේ යෙදීමය.

● සදුනි තිලකරත්න
 ත්‍රිකුණාමලය මණ්ඩපය,
 නැගෙනහිර විශ්ව විද්‍යාලය
 
 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment