කොරියා රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන්ට කොරියානු සම්ප්‍රදාය ගැන දැනුමක් ලබා තිබීම ඉතාම වැදගත්

51

වර්ල්ඩ් කොරියා ලංකා ආයතනය විවෘත කරමින් ඇමැති නලින් ප්‍රනාන්දු කියයි

කොරියානු රැකියා සඳහා පිටත්වී යෑමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට වෘත්තීය නිපුණතා දැනුම සමගින් කොරියානු භාෂාව, කොරියානු සංස්කෘතිය මෙන්ම කොරියානු සම්ප්‍රදායයන් ගැන දැනුමක් ලබා තිබීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වන්නේ යැයි ද එවැනි දැනුමක් ලැබූ තරුණ තරුණියන්ට කොරියානු රටේ කිසිම බාධාවකින් තොරව සිය රැකියාවන් කර ගැනීමට පහසුවනු ඇතැයි ද ඒ නිසා කොරියානු රැකියා සඳහා පිටත්වී යන්නන්ට විධිමත් හා නිවැරදි නියාමනයක් සහිත කොරියානු භාෂා අධ්‍යාපනය ලබා දීම සඳහා මෙවැනි අධ්‍යාපන ආයතන ඉමහත් රුකුලක් වන්නේ යැයි ද වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ පැවසුවේ ඉකුත් බ්‍රහස්පතින්දා (20 වැනිදා) පෙරවරුවේ මාකොළ, මාකොළ – දකුණ අංක 85 / ඩී දරන ස්ථානයේදී වර්ල්ඩ් කොරියා ලංකා අධ්‍යාපන ආයතනය (W K L) විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

මෙහිදී ඇමැතිවරයා අතින් එම අධ්‍යාපන ආයතනයට ඇතුළත් වූ පළමුවන සිසුවා වන ඩී. ආර්. කේ. සෙව්වන්දි සිසුවිය ලියාපදිංචි කිරීමද සිදු කෙරිණි.

තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේ ද කීය.

මේ වනවිට ලෝකයේ රටවල් ගණනාවකම විදේශ ශ්‍රමිකයන් රැකියා කරනවා. එම රටවලට යෑමට පහසුයි. නමුත් කොරියානු රටේ රැකියා සඳහා එහෙම යන්නට බැහැ. එහි රැකියා සඳහා යනවානම් ඔවුනට වෘත්තීය නිපුණතා දැනුමක් තිබිය යුතුයි. ලෝකයේ සෙසු රටවල් සමග බලනවිට කොරියානු රටේ තිබෙන වෙනස එයයි. කොරියානු රටේ රැකියාවල නිරත වී සිටින අයට සෙසු රටවල රැකියා කරන අයට වඩා විශාල වැටුපක් ලබා ගැනීමට ද හැකි වී තිබෙන්නේ ඒකයි. ඒ නිසා කොරියානු රැකියා වෙළෙඳ පොළට අවතීර්ණවීම සඳහා තරුණ තරුණියන් වෘත්තීය නිපුණතා දැනුම ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.

අද අපි රටක් වශයෙන් විශාල අභියෝග රැසකට මුහුණ දී සිටිනවා. දැන් අපි රජයක් ලෙසට ඒ ආර්ථික අපහසුතා එකින් එක නිරාකරණය කර ගනිමින් යනවා. පසුගිය කාලයේ ජනතාවට ආහාර, ඉන්ධන හා ගෑස් ලබා ගැනීමට පවා නොහැකි වී සිටියා. නමුත් මේ වනවිට එම තත්ත්වය පහවී ගොස් තිබෙනවා. දැන් අපට අවශ්‍ය වන්නේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමටයි. ඒ සඳහා විදේශ විනිමය වැඩි වැඩියෙන් උපයා ගැනීමට සිදු වී තිබෙනවා. එයට සංචාරක ව්‍යාපාරයේ හා විදේශගත ශ්‍රමිකයන්ගේ සහාය අවශ්‍ය වෙනවා. ඒ නිසා ලෝකයේ රැකියා වෙළෙඳ පොළට අවශ්‍ය වන පුහුණු ශ්‍රමිකයන් බිහි කරන්නට ඕනෑ. ඒ සඳහා දායකත්වය ලබා දෙන මෙවැනි ආයතන අපි අගය කරනවා.

වර්ල්ඩ් කොරියා ලංකා අධ්‍යාපන ආයතනයේ (W K L) සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ඩී. ආර්. අජිත් කුමාර මහතා කතා කරමින් මේ ආයතනය මගින් කොරියානු රටේ විවිධ රැකියා සඳහා යෑමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට අවශ්‍ය වන වෘත්තීය පුහුණුව ලබා දෙනවා. මේ පුහුණුව කොරියානු රටේ ප්‍රවීණ ගුරු උපදේශකවරුන් යටතේයි ලබා දෙන්නේ. මේ ආයතනය සමග කොරියානු විශ්වවිද්‍යාල 32 ක් සම්බන්ධ වී තිබෙනවා. ඒවාට ඇතුළත් වීමට අවශ්‍ය වන මග පෙන්වීම ද කරනවා. මේ වනවිට මේ ආයතනයට ලියාපදිංචි වීම සඳහා දිවයිනේ නන් දෙසින් ඉල්ලුම් පත් 600 ක් පමණ ලැබී තිබෙනවා. ඒ අනුව එම අයට අවශ්‍ය පුහුණු පාඨමාලා අපි ආරම්භ කරනවා.

කොරියානු භාෂාව පිළිබඳව මහාචාර්ය කොරියානු ජාතික කිම් සුන්ග් ජින් මහතා කතා කරමින් කොරියානු රැකියා වෙළෙඳ පොළට පිවිසෙන්නට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට අවශ්‍ය වන වෘත්තීය නිපුණතා දැනුම ලබා දීම මේ ආයතනයේ අරමුණ වෙනවා. එයින් නිසිඵල නෙළා ගැනීමට තරුණ තරුණියන් දැනට වඩා දැඩි උනන්දුවක් දැක්විය යුතුයි.

එම ආයතනයේ අධ්‍යක්ෂ (පුහුණු) ප්‍රභාත් ලියනගේ මහතා ද කතා කළේය.

මේ අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් වන ආනන්ද ගනේපොල (බියගම), පියසේන කාරියප්පෙරුම (දොම්පේ) හා චන්ද්‍රපාල මදුරප්පෙරුම (ජාඇල) යන මහත්වරුන් ද බියගම ප්‍රාදේශීය ලේකම් චන්දිමා සූරියආරච්චි හා බියගම ප්‍රාදේශීය සභාවේ ලේකම් එම්. යූ. ආර්. මද්දුමගේ යන මහත්මීහු ද සහභාගි වූහ.

එහිදී ඇමැති නලින් ප්‍රනාන්දු මහතා විසින් පීත්ත පටිය කපා එය විවෘත කළ අයුරු ද,

චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දල්වා එහි වැඩ කටයුතු ආරම්භ කළ අයුරු ද එම අධ්‍යාපන ආයතනයට ඇතුළත් වූ පළමුවන සිසුවා වන ඩී ආර්. කේ. සෙව්වන්දි සිසුවිය ලියා පදිංචි කළ අයුරු ද මෙහි දැක්වෙයි.

W K L. ආයතනයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ඩී. ආර්. අජිත් කුමාර හා බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල යන මහත්වරුන් ද මෙහි වෙති.
දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment