ඉසුරුපායට කඩා වැදුණු අන්තරේට කඳුළු ගෑස්

342

පිරිස කඳුළු ගෑස් උණ්ඩ යළි පොලිසිය දෙසට විසිකරති

පොලිසිය සිසුන්ට පෑන්වලින් ඇනගෙන ඇනගෙන ගියා – වසන්ත මුදලිගේ කියයි

බත්තරමුල්ල,පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (10 දා) පස්වරුවේ සංවිධානය කළ විරෝධතාවයට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමග බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

විරෝධතාවය පැවැත්වූ අන්තරේ සිසුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටින් අවහිර කර තිබූ පොලිස් මාර්ග බාධක පෙරළා පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගේට්ටුව සොලවා ගලවා දමා අතුල්වීමත් සමග පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට වූහ.

මෙහිදී පොලිසිය ‘අන්තරේ’ විරෝධතාකරුවන්ට පන්න පන්නා පහරදෙන ආකාරයද දැකගත හැකි විය. මෙහිදී හිමිනමක ඇතුළු සිසුහූ 6 දෙනෙක් තුවාල ලැබූහ.

රුහුණ සහ කැලණිය විශ්වවිද්‍යාල තුළ සිදුකරන ශිෂ්‍ය මර්දනය වහා නතර කිරීම, අසාධාරණ ලෙස විශ්වවිද්‍යාල සිසුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීම වහා ඉවත්කිරීම සහ වසා දමා ඇති විශ්වවිද්‍යාල වහා විවෘත කිරීම යන තේමාවන් යටතේ මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

‘කපා කපා කෑලි කපා අපි වලකනු සිතනු එපා… අපේ ගමන අපි යනවා’ යනුවෙන් පවසමින් ‘අන්තරේ‘ සිසුහූ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය පාන්නට වූහ. පසුව ඔවුහූ පොලිස් මාර්ග බාධක ඇද දමමින් පෙරළා දමා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගේට්ටුව අසලට ගොස් ගේට්ටුව සොලවන්නට වූහ. එහිදී එක් ගේට්ටුවක් ගලවා පෙරළා දමා විරෝධතාකරුවෝ අධ්‍යාපන අමාත්‍යාංශය තුළට ඇතුළු වූහ. එලෙස ඇතුළු වීමත් සමග පොලිසිය පිරිස විසුරුවාහැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළහ.

එහිදී විරෝධතාකරුවන් අසලට පැමිණි කඳුළු ගෑස් උණ්ඩ අන්තරේ සිසුහූ යළි පෙරළා පොලිසිය දෙසට එල්ල කළහ.

කඳුළු ගෑස් කෑ බොහෝ දෙනා ජල බෝතල්වලින් හා ප්ලාස්ටික් ජල බෝතල්වලින් දෑස් සෝදා ගන්නා ආකාරය ද දැකගත හැකි විය.

මෙම සිද්ධිය ගැන අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මෙසේ පැවසීය.

මේ විරෝධතාවයට පොලිසිය අමානුෂික ලෙස පහර දුන්නා. විරෝධතාවයේ යෙදුනු අපේ සහෝදරවරුන්ගේ සාක්කුවල තිබූ පෑන් අරගෙන පොලිසිය ඒවායින් ඇනගෙන ඇනගෙන ගියා. ලැජ්ජයි. තිරිසන් විදිහටයි පොලිසිය හැසිරුණේ. මේ සිද්ධියේදී අපේ ස්වාමීන්වහන්සේ නමකුයි, සහෝදරවරුන් 5 දෙනකුයි තුවාල ලැබුවා.

අපි මෙතන විරේධතාවය දැක්වූවේ ශිෂ්‍ය භාවය අහෝසි කළ කැලණිය විශ්වවිද්‍යාලයේ සහෝදරවරුන් 26 දෙනකුගේ ශිෂ්‍ය භාවය නැවත පිහිටුවීම, රුහුණු විශ්වවිද්‍යාලය තුළ ඇති ශිෂ්‍ය මර්දනය නතර කිරීම හා දැන් වසර කීපයක සිට වසා දමා ඇති විශ්වවිද්‍යාල වහා විවෘත කරන්න කියලයි. මේ ගැන පාලකයෝ කන්දෙන්නේ නැත්නම් අපේ සටන දිගටම කරනවා. විශ්වවිද්‍යාල නිකරුණේ වහගෙන ඉන්නේ විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කරන්න දැයි අපිට සැකයක් තිබෙනවා. ඒවට අපි ඉඩ තියන්නේ නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment