එල්.ටී.ටී.ඊ. ගුවන් විදුලි කුළුණ යට හිටියත් තවමත් කොළඹ දැකලා නැති මිනිස්සු

262

අපි නිතර කන බොන සමහර කෑම ජාති මේ ගම්වල සමහර මිනිස්සු දැකලවත් නෑ…

ශරීරගත රුධිර ප්‍රමාණය අඩු විශාල පිරිසක් වෙරුගල් ප්‍රදේශයේ ජීවත් වෙනවා…

අවුරුදු 15, 16න් ගැහැනු ළමයි අඹුසැමි ඇසුරට යනවා…

මේ ප්‍රදේශයේ විශාල ගැබිනි මාතාවන් පිරිසකට බඩු කට්ටල බෙදා දීපු ප්‍රථම අවස්ථාව…

දෙමළ දේශපාලනඥයින් අපේ ළමයින්ට පොතක්, පෑනක්වත් දීලා නෑ…

‘වෙරුගල්’ කොටි හඬ ගුවන් විදුලි සම්පේක්‍ෂණාගාරය පිහිටා තිබූ ගම ය. ත්‍රස්තවාදය පැවැති කාලයේ එම ප්‍රදේශය එල්.ටී.ටී.ඊ බලකොටුවකි. එහෙත් කොටි හඬ බලු වී ගිය මෙකල ‘වෙරුගල්’ අන්ත දිළිඳු ගම්මානයකි. යුද ගිනි, නිවී ගොස් නිදහසේ ජීවත්වීමට අවකාශය ලැබුණ ද කුස ගින්දර නිවන යුද්ධයෙන් වෙරුගල් ජනතාව දැඩි ලෙස පීඩා විඳින බව අපට දැනගැනීමට ලැබුණේ එම ගමේ පැවැති පුංචි පින්කමකට සහභාගිවීමට ලැබුණු අවස්ථාවේදී ය.

එම උත්සවය පැවැතියේ වෙරුගල් කෝවිල් භූමියේ ය. කතරගම දෙවියන් වෙනුවෙන් වෙන් වූ පින්බිමකි. අති රමණීය පරිසරයකි. විසල් කෝවිල් භූමිය වටකොට මහවැලි ගං කොමලිය නාරි ලතාවෙන් පහළට ගලා බසිති. නිල් කැටයෙන් සුදිලෙන ජල කඳ ද පිරිසිදු ය. ඒ විසල් භූමිය මැද පිහිටි ඉපැරැණි කෝවිල අවට ද පිරිසිදු ය. උතුර, නැඟෙනහිර ත්‍රස්තවාදීන් අරක් ගෙන සිටි කාලයේ දී ප්‍රබල කොටි නායකයන් නිතර පැමිණ වැඳුම්, පිදුම් කර ඇති කෝවිලකි. එමෙන්ම උතුර, නැඟෙනහිර දෙමළ දේශපාලනඥයින් අදට ද භක්තියෙන් වැඳුම්, පිදුම් කරන සිද්ධස්ථානයකි. එහෙත් දමිළ දේශපාලනඥයින් වෙරුගල් ගමේ මිනිසුන් විඳින දුක ගැන ඇහැක් ඇර බලා නැත. කෝවිල් භූමියට යන පාරේ හිඟා කන අසරණයන්ගේ දුක්ගැනවිල්ලකට හෝ ඇහුම්කන් දී නැත. දමිළ දේශපාලනඥයන් ඔවුන් අතරට එන්නේ ඡන්දෙ කාලෙට පමණක් බව අපට කීවේ වෙරුගල් ගැමියෙකි.

එල්.ටී.ටී.ඊ. ගුවන් විදුලි කුළුණ යට හිටියත් තවමත් කොළඹ දැකලා නැති මිනිස්සු

දෙමළ සමාජයෙන් කොන් කර තිබෙන වෙරුගල් ගමේ ජනතාවගේ ජීවිත ගැටගසා ගැනීමට හැකි පමණින් හෝ උපකාර කරනුයේ සේරුවිල පන්සලෙන් පමණි. වියළි ආහාර මලු පමණක් නොව, වෙරුගල් සහ අවට ගම්මානවල සියලුම ගැබිනි මාතාවන්ට දරුවන් ලැබීමෙන් පසු අවශ්‍ය උපකරණ සහිත භාණ්ඩ කට්ටල පවා සේරුවිල මංගල මහා විහාරයෙන් බෙදා දීමට සැලසුම් කර තිබිණි. වෙරුගල් ගමට අප ගියේ ද ගැබිනි මාතාවන්ට අවශ්‍ය උපකරණ බෙදා දීමේ පින්කමකට සහභාගිවීමට ය. එම පින්කමේ දී ගැබිනි මාතාවන්ට උපකරණ බෙදාදීමට අමතරව පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට ද සේරුවිල මංගල මහා විහාරයේ විහාරාධිපති අළුදෙණියේ සුබෝධි හාමුදුරුවෝ සූදානම් කර තිබුණහ.

ගැබිනි මාතාවන් පමණක් නොව, වෙරුගල් ගමේ තරුණ, වැඩිහිටි, බාල විශාල පිරිසක් අතිශය සතුටින් ආහාර භුක්තිවිඳින අයුරු අපි දුටුවෙමු.

එල්.ටී.ටී.ඊ. ගුවන් විදුලි කුළුණ යට හිටියත් තවමත් කොළඹ දැකලා නැති මිනිස්සු
සේරුවිල මංගල මහා විහාරයේ විහාරාධිපති අළුදෙණියේ සුබෝධි හි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ග්‍රාමනිලධාරීන් වසම් දහයකි. එම වසම්වල ජීවත්වන පවුල් සංඛ්‍යාව හයදාහස් ගාණකි. සම්පූර්ණ ජනගහනය පහළොස්දාහස් අටසීය ගාණකි. වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙන්ම අවට ප්‍රදේශවල ජනප්‍රිය සහ සාමාන්‍ය දෙමළ මාධ්‍ය පාසල් කිහිපයක් ක්‍රියාත්මකව පැවැතිය ද එම ප්‍රදේශයේ අධ්‍යාපන තත්ත්වය අතිශය පහත් මට්ටමක පැවැතීම බරපතළ ගැටලුවකි. එමෙන්ම නිසි අධ්‍යාපනයක් නොලැබීම නිසා වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බහුතරයකගේ ජීවන වෘත්තිය ධීවර රස්සාව ය. මෑතක සිට වෙරුගල් ගමේ තරුණියන් බහුතරය අසල්වාසී ප්‍රදේශවල ඇඟලුම් ආයතනවල රැකියාවලට යන ප්‍රවණතාවය වැඩි වී ඇති බව ද වාර්තා වේ. ඒ හැර වෙරුගල් ගමේ රජයේ රැකියා කරන, ව්‍යාපාර කරන පුද්ගලයන් අතිශය අල්පය.

දරු පවුලක් ජීවත් කරවීමට තරම් ආදායමක් නොලැබෙන පසුබිමක වෙරුගල් ගමේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉතා පහළ මට්ටමක පවතින බව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සනත් ජයන්ත බණ්ඩාර මහතා ද අප සමග පැවසුවේය. එමෙන්ම අඩු වයසින් විවාහවීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ මට්ටමක පවතින වෙරුගල් ප්‍රදේශයේ බොහෝ ගැහැනු ළමයි පාසල් හැර යෑමත් සමග, පාසල් යන අතරතුර වයස අවුරුදු පහළොවෙන්, දහසයෙන් ආදර සම්බන්ධතා මත පෙම්වතුන් සමග දීග කෑමට පටන් ගන්නා බව ද වාර්තා වේ. බොහෝවිට ඔවුන් නීත්‍යානුකූලව විවාහ නොවන බව ද ගමෙන් ඇසෙන කතාවකි. එවැනි කසාදවල පැවැත්ම ද තාවකාලිකය. අඹු සැමියන් ලෙස ජීවත්වන ගැහැනු, පිරිමි අතහැර වෙනත් අඹුසැමි ඇසුරකට යෑම වෙරුගල් ප්‍රදේශයට සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙන බව ද වාර්තා වේ. ආර්ථික අපහසුතා, අඩු වයසෙන් ගර්භිණීභාවයට පත්වන මවුවරුන්ට නිසියාකාර පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබෙන බවත්, බොහෝ කුඩා දරුවන්ට ද පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබෙන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සනත් බණ්ඩාර අපට කීවේය. එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පෝෂණ ඌණතා සහිත වැඩිම දරුවන් පිරිසක් ජීවත්වනුයේ වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බව ද වාර්තා වේ. ශරීරගත රුධිර ප්‍රමාණය අඩු ළමා, මහලු, ගර්භිණී විශාල පිරිසක් වෙරුගල් ප්‍රදේශයේ ජීවත්වන බව ද වාර්තා වේ. එහෙත් නිවාස අතර ලොකු පරතරයක් පැවැතීම, ගම්මානයේ මනා ජල බැස්මක් පැවැතීම, මිනිසුන් ගෙවතු පිරිසිදුව තබාගැනීම නිසා ඩෙංගු වැනි වසංගත රෝග බෝවීම ඉතා අවම මට්ටමක පවතින බව ද වාර්තා වේ.

සතුටින් ආහාර ලබාගෙන අසුනකට බර දී සිටින ගර්භිණී මවක් සමග කතාබහා කිරීමට මම උත්සාහ කළෙමි. එහෙත් ඇය සිංහල කතා කිරීමට අපොහොසත් විය. අපි දෙමළ කතා කිරීමට අපොහොසත් වීමු. එම පින්කමට සහභාගි වී සිටි තුන්සියකට ආසන්න පිරිස අතරින් සිංහල කතාබහා කිරීමට පුළුවන් අය තුන්හතරදෙනකුට වඩා නොසිටීයහ. ඔවුන් ද අපි අහන ප්‍රශ්න තේරුම් ගත්තේ ඉතාම අසීරුවෙනි. අවසානයේ වෙරුගල් පොලිස් ස්ථානාධිපති ඩෙනීෂ් මහතාව භාෂා පරිවර්තකයෙක් බවට පත් කරගෙන ගර්භිණී කාන්තාවන් කිහිපදෙනෙක් සමග අපි කතාබහා කළෙමු. මේ එම කාන්තාවන් අතරින් එක් අයෙක් පැවසූ කතාවකි.

එල්.ටී.ටී.ඊ. ගුවන් විදුලි කුළුණ යට හිටියත් තවමත් කොළඹ දැකලා නැති මිනිස්සු
අළුදෙණියේ සුබෝධි හිමි ගැබිණි මාතාවකට දරුවන් ලැබුනට පසු අවශ්‍ය උපකරණ බෙදා දෙන අයුරු

“අපිට පහසුවෙන් ගන්න තියෙන්නෙ මාළු විතරයි. මේ ගමේ වගා කරන්නත් අමාරුයි. අපේ දේශපාලනඥයන් උදව් කරන්නෙත් නෑ. ඡන්දෙ කාලේට ඇවිත් මොනවහරි පොඩි දෙයක් බෙදා දීලා අපේ මිනිස්සු රවට්ටනවා. ඡන්දය දින්නට පස්සෙ අඩු තරමින් ගමේ පාරක්වත් හදා දෙන්න උනන්දු වෙන්නෙ නෑ. මෙතැන ඉන්න බොහෝදෙනා ඇවිත් ඉන්නෙ කිලෝ මීටර් හත, අට, දහය පයින් ඇවිදගෙන. සමහර පවුල්වලට ගමනක් යන්න යතුරුපැදියක්වත් නෑ. බයිසිකලයක් තියා ළමයෙක්ට ඉගෙන ගන්න පොතක්, පෑනක්වත් අපේ දේශපාලනඥයින් දීලා නෑ. අපේ ගමේ ගොඩක් ගෙවල්වල කන්නෙ වේල් දෙකයි. ඒ කන්නෙත් බතුයි, එක වෑංජනයි…” ඒ හඬ විජයාගේය. ඇයට වයස අවුරුදු තිස්හතකි. ලංකාපටුන ප්‍රදේශයේ පදිංචි ඇය තිදරු මවකි. වැඩිමහල් දරුවට වයස අවුරුදු දහහතකි. හතරවෙනි දරුවා බිහි කිරීමට ඇයට තව ඇත්තේ කෙටි කාලයකි. කලපුවේ ධීවර රස්සාවේ නිරතව සිටින තම සැමියාට ලොකු ආදායමක් නොලැබෙන බව ද ඇය අපට කීවා ය. වෙරුගල් එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයක් ලෙස පැවැති කාලයේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් ඔවුන්ට හිරිහැරයක් නොවුණු බවත්, එදාට වඩා අද ජීවන ගැටලුවලින් මිරිකී සිටින බව ඇය පැවසුවා ය. එමෙන්ම තම ගම් බිම්වල බොහෝ පවුල් බතුයි, එක වෑංජනයකින් වේල පිරිමසා ගන්නා බවට විජයා කියූ කතාව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරිණියක් වන ඉෂරා ගුණතිලක ද සනාථ කළා ය. ගර්භිණී මවුවරු පරීක්‍ෂා කිරීමට යන බොහෝ දිනවල ඔවුන් ආහාරයට ගෙන ඇත්තෙ බත් සහ එක වෑංජනයක් බව ඇය පැවසුවේ දැඩි වේදනාවෙනි. මවුවරුන්ගේ පෝෂණ ඌණතා නිසා උපදින බොහෝ දරුවන්ගේ බර අඩුවීමේ ගැටලුව දැඩිව පවතින බව ද ඇය පැවසුවා ය.

එල්.ටී.ටී.ඊ. ගුවන් විදුලි කුළුණ යට හිටියත් තවමත් කොළඹ දැකලා නැති මිනිස්සු

“අපි නිතර කන, බොන සමහර කෑම ජාති මේ ගම්වල මිනිස්සු දැකලවත් නෑ. හරිම දුකයි. ඒත් අපිට කරන්න දෙයක් නෑ…” ඉෂරාගේ ඒ වචන දෙසවන් පාසරු කරගෙන හදවතේ ගැඹුරුම තැනට කිඳා බැස්සේය. එහෙත් ඒ මිනිසුන්ගේ ජීවන දුක අකුරු කරනවා විනා අපට කළ හැකි දෙයක් නැත. වෙරුගල් ගැටලු ගඟ තවමත් ගලා බසී. මේ එම ගඟට කඳුළු එකතු කරන ජීවානන්දනීය. ඇයට වයස අවුරුදු විසිපහකි. කුළුදුළේ දරුවෙක් බිහි කිරීමට සිටින මවකි. ඇයගේ සැමියාගේ ජීවන වෘත්තිය කුලී වැඩ ය. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇය විවාහ වීමට පෙර කන්තලේ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කර තිබේ. එමෙන්ම ඇය සමාජය පිළිබඳ යම් අවබෝධයකින් කතා කරන බව ද හැඟේ.

“මේ ප්‍රදේශයේ විශාල ගැබිනි මවුවරුන් පිරිසකට එකවර මෙවැනි උපකාරයක් කරපු පළමු අවස්ථාව. ඒක අපිට ලොකු දෙයක්. ඒ වගේම මේ හාමුදුරුවො හරිම කරුණාවන්තයි. හාමුදුරුවො මෙච්චර කරුණාවන්තයි කියලා අපි දැනගෙන හිටියේ නෑ. මේ හාමුදුරුවො කියපු දේවල් අපිට හොඳට තේරුණා. සතුටින් ඉන්න ඕනා. අන් අයට උදව් උපකාර කරන්න ඕනා. එතකොට තමයි අදහන දෙවියෝ අපිට අනුකම්පා කරන්නෙ. මෙච්චර කාලයකයට එවැනි දෙයක් කවුරුවත් අපිට කියා දීලා නෑ. ඒත් අපි පුළුවන් විදිහට එකිනෙකාට උදව් උපකාර කර ගන්නවා. දැන් අපිට ඕන සිංහල මිනිස්සු සමගත් උදව්, උපකාර කරගනිමින් සුහදව ජීවත් වෙන්න…” තළෙලු, ප්‍රසන්න පෙනුමැති ජීවානන්දනී සිනාවෙන් මුව සරසාගෙන අප සමග ළෙන්ගතුව කතාබහා කළා ය. එවැනි ළෙන්ගතු ජීවානන්දනීලා අතර ලැජ්ජාවෙන් ඇඹරෙමින් සහ බියෙන් සහ චකිතයෙන් අප මඟහරින ගැබිනි කාන්තාවන් ද සිටියහ. එමෙන්ම අසනීපයකට බෙහෙත් ලබාගැනීමට එම ප්‍රදේශයේ රජයේ ඩිස්පැන්සරියක්, දරුවන් සෙල්ලම් කිරීම ළමා උද්‍යානයක්, ගමනක් යෑමට ප්‍රවාහන පහසුකම් නොමැති බව අප සමග කතාබහා කළ කාන්තාවන්ගේ පොදු අදහස් විය. වෙරුගල් කාන්තාවන් එසේ අදහස් ප්‍රකාශ කරන අතරේ ප්‍රදේශවාසීන්ගේ කල්කිරියාව ගැන විමසා බැලීමට පරිවර්ථකයෙක් ලෙස බොහෝ වේලාවක් අපට සහාය දැක් වූ වෙරුගල් පොලිස් ස්ථානාධිපති ඩෙනීෂ් මහතා දෙසට අපි යොමු වීමු. ආරක්‍ෂක සේවයේ තිස්හය වසරක පළපුරුද්දක් සහිත හේ යුද්ධය පැවැති කාලයේ සිට උතුර, නැඟෙනහිර පොලිස් ස්ථානවල රාජකාරී කර ඇති නිර්භීත නිලධාරියෙකි. වසර කිහිපයක් වෙරුගල් පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ඔහු පෙළගැසෙන කතාවට මෙසේ අදහස් ඉදිරිපත් කළේය.

“1990 ගණන්වල සේරුනුවර පොලිසියේ එස්. අයි. කෙනෙක් විදිහට මම වැඩ කළා. ඒ කාලේ මහින්දපුර හන්දියෙන් මෙහාට එන්න බෑ. තනිකර එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශ. මේ මිනිස්සු ඒ කාලෙත් නොසෑහෙන්න දුක්විඳලා තියෙනවා. යුද්ධය අවසාන වුණා කියලා නිදහස හැර වෙනත් දෙයක් ඔවුන්ට ලැබිලා නෑ. අදටත් මේ මිනිස්සු සාමාන්‍ය ලෝකය දැකලා නෑ. මේ ප්‍රදේශයේ සමහර අය කොළඹ දැකලා නෑ. ඒ වගේම පොලිසියට වැඩියෙන්ම වාර්තා වෙන්නෙ පවුල් ආරවුල්. කසිප්පු ජාවාරම තදින්ම තියෙනවා. සමහර මිනිස්සු ගෙවල්වල පෙරාගෙන බොනවා. මේ ජාවාරම නතර කරන්න ඕන නිසා කසිප්පු පෙරන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට ලබා දී තිබෙන සමෘද්ධිය කපා හරින බවට ප්‍රාදේශීය ලේකම්තුමා නීතියක් දැම්මා. ඒ නිසා දැන් කසිප්පු ජාවාරම අඩුයි. මත්ද්‍රව්‍ය භාවිතය බින්දුවයි…” වෙරුගල් පොලිස් ස්ථානාධිපති ඩෙනීෂ් මහතාට ද බඩගිනි දැනෙන හෙයින් සවස 2 ක පසු වී තිබුණු නිසා අපි ඔහුට ආහාර ලබාගැනීමට ඉඩ හැර පසෙකට වී අසුන්ගෙන කුඩා දරුවන්, මවුවරු, පියවරු ආහාර ලබාගන්නා දෙස බලා නිරාමිස සතුටක් විඳින සේරුවිල මංගල මහා විහාරයේ විහාරාධිපති අළුදෙණියේ සුබෝධි හිමියන් අසලට අපි ගියෙමු.

“මේ මිනිස්සු හරි සතුටින් කෑම කනවා නේද… අහිංසක මිනිස්සු…” උන්වහන්සේ කරුණාබර වචනවලින් පැනයක් යොමු කරමින් පෙළගැසෙන කතාවට මෙසේ ප්‍රවේශයක් ලබාගත්හ.

“අපි මේ පින්බිමට වැඩම කළේ මාස කිහිපයකට පෙර. මේ කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන උත්සවයට සහභාගිවීමට ලැබුණු ආරාධනාවට. ඒ පැමිණි අවස්ථාවේ දී කෝවිලේ භාරකරු නිරංජන් මහත්තයා, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් මේ ගම්වල ගැටලු ගැන අපිව දැනුවත් කළා. සේරුවිල සිංහල මිනිස්සුන්ට වගේම මේ මිනිස්සුන්ටත් පිහිට වෙන්න ඕන කියලා මට හිතුණා. ඊට පස්සෙ ගමේ සියලුම පවුල්වලට වියළි ආහාර බෙදා දුන්නා. දරුවන්ට පාසල් උපකරණ ලබා දුන්නා. ගැබිනි මාතාවන්ට දරුවන් ලැබුණට පස්සෙ අවශ්‍ය උපකරණ කට්ටලයක් ලබාදෙන්නත් තීරණය කළා. ඒ සමග මේ අම්මල කන්න කැමැති ආහාර ගැන දැනුවත් වෙලා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදෙන්නත් අපි සැලසුම් කළා. මේ පින්කම සාර්ථකව සිද්ධ කිරීමට වෙරුගල් පොලිස් ස්ථානාධිපති, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල මෙහෙවරක් ඉටු කළා. ඒ වගේම මේ කෝවිල් සභාවේ සභාපති පී. නිරංජන් මහතා, ශිවකුමාර් කුරුක්කල්තුමා ඇතුළු කෝවිලේ කාර්යමණ්ඩලය තමයි ආහාර පිළියෙළ කර, මේ පින්කම සංවිධානය කළේ. අපි ලබා දුන්නෙ අවශ්‍ය මුදල් විතරයි. නිතර, කතාබහා කරමින් බොහොම සමගියෙන් අපි මේ පින්කම සංවිධානය කළා. අපිට මේ අම්මලත්, සේරුවිල අම්මලත් හැමෝම එකයි. බෞද්ධ භික්‍ෂූවහන්සේ විදිහට අපි මනුෂ්‍ය වර්ගයා දිහා බලන්නෙ පොදුවේ…” සුබෝධි හාමුදුරුවන්ගේ කතාවට මම බාධා කළෙමි.

සිදු විය යුත්තේ එයයි. ජාති, ආගම්, කුල භේදවලින් වෙන් වුවද අප සියලුදෙනා මේ මහ පොළොවේ ජීවත්වන මිනිසුන්ය. ඇට, මස්, ලේ නහරවලින් සැදුම්ලත් සියලු මිනිසුන්ගේ ශරීර කූඩුව පුරා දුවනුයේ රත් පැහැ රුධිරය යි. ඒ හෙයින් කිසිවෙක් දෙස වෙනස් විදිහට නොබැලිය යුතුය. හැකි පමණින් එකිනෙකාට උදව්, උපකාර කරගත යුතුය. එකිනෙකාට උදව්, උපකාර කරගන්නා විට සිත් තුළ ආදරය, කරුණාව, මෛත්‍රිය යහපත් ගුණධර්ම උපදිනු ඇත. කෝපය, වේදනාව, සමනය වී සිත් පිරිසිදු වනු ඇත. පින් සිත පහළ වනු ඇත. මල්වත්තක් සේ සිත් ලස්සන වනු ඇත. එහෙත් සිත් පිරිසිදු වී යහපත් ගුණ ධර්මවලින් හදවත් පෝෂණයවීමට නම් මිනිසුන් සතුටින් සිටිය යුතුය.

වෙරුගල් පීඩිත ජනතාව පමණක් නොව උතුර, නැඟෙනහිර සියලුම ගම්මානවල දෙමළ මිනිසුන් සතුටින් තැබීමට හැකි නම් අන්තවාදී දේශපාලනඥයින්ට, කොටි අතකොලු සහ අදටත් එල්.ටී.ටී.ඊ.ය විකුණාගෙන කන ජාත්‍යන්තර හිඟන කොටි අවතාරවලට දමිළ අසරණයන්ගේ ඔළු විකාර කිරීමට නොහැකි වන බව අපගේ විශ්වාසයයි. දෙමළ දේශපාලනඥයින්, දමිළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හළන සංවිධාන එම අසරණ මිනිසුන් නඟාසිටුවීමට කිසිවක් නොකරනුයේ තුවාලය සුවපත් වූ පසු සිඟාකෑමට අවස්ථාවක් නැති වන නිසා ය. භූමිය කොල්ලකෑමට දරන වෑයමට දමිළ ජනතාවගෙන් සහයෝගයක් නොලැබෙන නිසා ය. එම යථාර්ථය තේරුම්ගෙන මෙරට රජය උතුර, නැඟෙනහිර පීඩිත දෙමළ ජනතාවගේ ජීවිත නඟාසිටුවීමට සාර්ථක වැඩපිළිවෙළක් දියත් කළ යුතුය. ජාතීන් අතර පවතින දැඩි දුරස්තභාවය නැති කර සහසම්බන්ධතා ඇති කළ යුතුය. සිංහල, දෙමළ ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන පසුබිමක මේ රට කට්ටි කිරීමට වලි කන කල්ලතෝනි අන්‍ය ආගමික ජන කණ්ඩායම්වලට ද නිරායාසයෙන් පාර වැසෙනු ඇත.

එල්.ටී.ටී.ඊ. ගුවන් විදුලි කුළුණ යට හිටියත් තවමත් කොළඹ දැකලා නැති මිනිස්සු

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment