නීති විද්‍යාලයේ ප්‍රවේශ ගාස්තු විභාග ගාස්තු වැඩි කරලා – සජිත්

83

ගාස්තු වැඩි කළේ අලුත් ගැසට් රෙගුලාසි අනුව – ඇමැති විජයදාස

නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව රුපියල් 15000 දක්වා ද විභාග ගාස්තු රුපියල් 1200 ක් දක්වා ද වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) පැවසීය.

එමෙන්ම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයැදුම්පත් කැඳවා ඇතැයි කී විපක්ෂ නායකවරයා මෙම ගැටලු තුන සම්බන්ධයෙන් ආණ්ඩුව විසඳුම් ලබාදිය යුතු යැයි කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවැසුවේ අලුත් ගැසට් පත්‍රයේ රෙගුලාසි අනුව ගාස්තු වැඩි කිරීමක් සිදුකර තිබෙන බවයි.

එම වැඩි කිරීමට පෙර නීති අධ්‍යයන කවුන්සිලය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම වැඩි කිරීම කළ බවත් සිසු සිසුවියන් 5000 කට පමණ අධ්‍යාපන කටයුතු ඇතුළු අනිකුත් පහසුකම් නීති විද්‍යාලය විසින් ලබා දෙන බවත් නීති විද්‍යාලයට රජයෙන් කිසිම මුදලක් ලබා දෙන්නේ නැති බවත් අධිකරණ ඇමැතිවරයා කීය.

නීති විද්‍යාලයට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නැතැයි ද නීති විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් අය කරන සුළු මුදලින් සිසුන් පන්දහසකට පමණ අධ්‍යාපනය ලබා දෙන බව ද අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර නීති විද්‍යාලයේ සඳහා අයැදුම් පත් කැඳවීමේ කාරණය පිළිබඳව කරුණු සොයා බලා ඉදිරිපත් කරන බව ද රාජපක්ෂ මහතා කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment