පදියතලාවට අයිස් වැස්සක් සමග සැඩ සුළඟක්

315

පදියතලාව ප්‍රදේශයේ මාස කිහිපයක් පැවැති දැඩි නියඟය හමාර කරමින් පෙරේදා (22) හවස 4.15 ට පමණ අයිස් වැස්සක් සමග හමා ගිය සැඩ සුළඟකින් ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි හානි සිදුව ඇතැයි පදියතලාව පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.

කුඩා ප්‍රමාණයේ අයිස් කැට වර්ෂාවකින් ආරම්භ වූ සැඩ සුළඟින් පදියතලාව පහළ වීදියේ විශාල කිරල ගසක් මාර්ගයට කඩා වැටීමෙන් අම්පාර, මහනුවර මාර්ගය, මඩකලපුව, බදුල්ල මාර්ගයේ පැය එකහමාරකට අධික ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබිණි. දුර ගමන් සේවා බස්රථ විකල්ප මාර්ග යොදා ගනු දක්නට ලැබුණු අතර මාර්ගය අවහිර වීම නිසා වාහන සියයක් පමණ පෝලිම් ගැසී තිබිණි. මෙම ගස මාර්ගයට නොවැටුණේ නම් අනිවාර්යෙන්ම ඒ අසල දෙපස තිබූ නිවසකට වැටී මීට වඩා විනාශයක් සිදු වීමට බොහෝ දුරට ඉඩ තිබූ බව ගම්මු පවසති. සුළඟින් වැඩිම හානිය සිදුව ඇත්තේ දීඝායු දිසානායක ප්‍රාථමික විද්‍යාලයටයි. එහි දෙමහල් ගොඩනැගිල්ල, විද්‍යාලයේ ප්‍රධාන ශාලාව සහ පන්ති කාමර වහල වලට දැඩි හානි සිදුව ඇත. එම විද්‍යාලයේ ඉදිරිපිට තිබෙන තාවකාලික පන්ති කාමරයේ සෙවිලි තහඩු බොහොමයක් සොයා ගැනීමටවත් නොහැකි ලෙස ගසා ගෙන ගොස් ඇත. ගස් කඩා වැටී විදුලි කණුවලට හානි සිදු වී විදුලිය ද බිද වැටී ඇත.

පදියතලාවේ අතුරු මාර්ග සියල්ලකම ගස් කඩා වැටී තාවකාලික ගමනාගමන ඇනහිටීමක් සිදුව ඇත.

පදියතලාවේ නිවාස වලින් සියයට තිහක පමණ වහලවල් වලට දැඩි අලාභ හානි සිදුව තිබේ.

ගස් කඩා වැටීමෙන් පදියතලාවේ බොහොමයක් ගම්මාන හා නගර සීමාවේ විදුලිය ඇනහිට තිබූ අතර මහඔය විදුලි බල මණ්ඩල සේවකයින් දැඩි පරිශ්‍රමයක් දරා ස්ථාන කිහිපයකට එදින රාත්‍රියේම විදුලි බලය යථා තත්ත්වයට පත් කර ඇත. අපහසු තත්ත්වයේ තිබෙන බිද වැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අම්පාරෙන් විශේෂ කණ්ඩායමක් ගෙන්වා ගත් බවද විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
පදියතලාව විශේෂ – භාෂණ සත්‍යප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment