ඩොලරය වෙනුවට ඉන්දියානු රුපියලේ ආර්ථික වාසි

4588

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආර්ථික ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල් භාවිත කිරීමේ හැකියාව ගවේෂණය කරමින් සිටින බවට ද ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය පසුගියදා වාර්තා කරන ලදී. එහිදී ඉන්දියානු රුපියල් භාවිත කරමින් වෙළෙඳාම සහ ආයෝජන මූලික කරගත් ක්‍රියාමාර්ග හරහා වඩාත් ශක්තිමත් සහ සමීප හවුල්කාරිත්වයක් ගොඩනැගීමට උපකාර වන මුලපිරීමක් පිළිබඳව සාකච්ඡා කර ඇත. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල භාවිත කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය මාර්තු 2දා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කර තිබුණු බවට එම වෙබ් අඩවිය වාර්තා කරන ලදී.

මෙහිදී ලංකා බැංකුව, ඉන්දීය රාජ්‍ය බැංකුව ඇතුළු ඉන්දීය බැංකු නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන්දියානු සංචිත බැංකුව හෙවත් මහ බැංකුව විසින් මෙම වැඩපිළිවෙළට අදාළව සක්‍රීය කිරීමේ රාමුවක් නිර්මාණය කිරීමෙන් පසු ඔවුන් නම් කරන ලද වෙළෙඳ ගනුදෙනු ඉන්දීය රුපියල් මගින් සිදු කිරීමට නියමිත බව මෙහිදී දන්වා සිටියහ. ඉන්දියානු රුපියල් භාවිතයෙන් ගනුදෙනු සිදු කිරීමෙහි ප්‍රතිලාභ මෙහිදී බැංකු නියෝජිතයන් පෙන්වා දී ඇත. එහිදී කෙටි කාලසීමාවන් තුළ ගනුදෙනු සිදු කිරීම, අඩු විනිමය පිරිවැය සහ වෙළෙඳ ණය සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව නියෝජිතයන් විසින් ගෙනහැර දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා, වෙළෙඳ සහ ආයෝජන මූලික කරගත් ක්‍රියාමාර්ග තුළින් වඩාත් ශක්තිමත් සහ සමීප ආර්ථික හවුල්කාරිත්වයක් ගොඩනැගීමේ ඒකාබද්ධ ප්‍රයත්නයන් තුළ මෙම මුලපිරීම ඇති කරන ධනාත්මක බලපෑම අවධාරණය කළේය. ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ නිල වශයෙන් භාවිත කළ හැකි මුදල් ඒකකයක් බවට පත්කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ ඇමැති අලි සබ්රි මහතාද ඉන්දියාවේ මෑතදී කළ සංචාරය අතරතුර එරට මාධ්‍ය වෙත පවසා තිබුණි.

“අපට අවශ්‍ය වන්නේ ඉන්දියානු මුදල් ශ්‍රී ලංකාව තුළ වෙළඳාම් කළ හැකි මුදල් ඒකකයක් බවට පත් කිරීමයි. එසේම ඉන්දියානුවන්ට මෙහි පැමිණ එය භාවිත කිරීමේ හැකියාව ලබාදීමයි. එමගින් ශ්‍රී ලාංකිකයන්ට තුන්වන මුදල් වර්ග මත යැපීමෙන් තොරව එය භාවිත කිරීමට ඉඩ සැලසෙනවා,” අමාත්‍යවරයා සඳහන් කළේය. ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකයක් ලෙස භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සාකච්ඡාවක් නිර්මාණය වන පළමු අවස්ථාව මෙය නොවේ. එසේම දෙරට අතර ඉන්දීය මුදල් ඒකකය භාවිත සම්බන්ධයෙන් මේ වන විටත් යම් මූලික මට්ටමේ පදනමක් සකස්කර අවසන් බවද සඳහන් කළ හැකිය.

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ඇති වී තිබෙන දැඩි විදේශ සංචිත හිඟය (ඩොලර්) මගහරවා ගැනීම සඳහා වන එක් විසඳුමක් වශයෙන් ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීම සඳහන් කළ හැකිය. ශ්‍රී ලංකාවේ ඉල්ලීමක් අනුව ඉන්දීය රජය මෙම අවසරය දී ඇත්තේ ඇමරිකානු ඩොලර් දස දහසක වටිනාකමට සමාන ඉන්දීය රුපියල් ප්‍රමාණයක් ලාංකියන් සතුව තබා ගැනීමට අවසර දෙමිනි.

ඉන්දීය රුපියල ශ්‍රී ලංකාවේ නිල වශයෙන් පිළිගත් මුදල් ඒකකයක් ලෙස නම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගනු ලැබුවේ 2022 අගෝස්තු මාසයේ දී ය. එහිදී විශේෂ නියෝගයක් නිකුත් කරමින් ඉන්දීය රුපියලට අමතරව, ඔස්ටේ්‍රලියානු ඩොලර් තවත් විදේශ මුදල් ඒකක කිහිපයක් ශ්‍රී ලංකාව තුළ සන්තකයේ තබාගත හැකි විදේශීය මුදල් ඒකක ලෙස මහ බැංකුව විසින් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ නම් කරන ලද විදේශ මුදල් වර්ගයක් ලෙස වර්ගීකරණය කිරීමට ඉන්දීය සංචිත බැංකුවේ අනුමැතිය ඉල්ලා සිටි අතර, 2022 දෙසැම්බර් මාසයේ දී ඉන්දීය පාර්ශ්වය එම අනුමැතිය ලබාදී තිබිණි. එම අනුමැතිය සම්බන්ධයෙන් ඉන්දීය ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති ආකාරයට, දැන් ශ්‍රී ලාංකිකයන්ට ඇමෙරිකානු ඩොලර් 10,000 ක් (ඉන්දියානු රුපියල් ලක්ෂ 8.14ක් පමණ) වටිනා ඉන්දියානු රුපියල් භෞතික ස්වරූපයෙන් සිය සන්තකයේ තබාගැනීමේ හැකියාව ද ඇත.

විදේශ විනිමය අර්බුදයට විසඳුමක්

මේ අනුව ඇමරිකානු ඩොලර් භාවිතයකින් තොරව ඉන්දීය රුපියල් මගින්ද ගනුදෙනු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවෙයි. ඩොලර් ද්‍රවශීලතා හිඟය හේතුවෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට සිය ආර්ථික අර්බුදයෙන් මිදීමට උපකාර කිරීම සඳහා මෙය බෙහෙවින් උපකාරී වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ මත පළකර සිටිති.

මෙම තීරණය මගින් අසල්වැසි රටවල් දෙකක් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු වන වෙළෙඳාම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට අර්බුදකාරී අවස්ථාවේදී සුවිශේෂී වාසි හිමිවනු ඇති බවට විශ්ලේෂකයෝ මත පළකරති. ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය හිමි ඉන්දියාව සමග වෙළෙඳ ගනුදෙනුවලදී පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවට මෙය මහඟු උපකාරයක් වනු ඇති බවට ඔවුන් වැඩිදුරටත් මත පළකර සිටියි.

මෙම තීරණය මගින් ඉන්දියානු රුපියල ආසියාතික රටවල් අතර ජනප්‍රිය කිරීම සහ ඇමරිකානු ඩොලරය මත යැපීම අඩු කිරීම ඉන්දීය රජය අපේක්ෂා කරනු ලබයි. එය කලාපයක් ලෙසට දකුණු ආසියාව තුළ ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීමට දරන ප්‍රයත්නයේ එක් ප්‍රතිඵලයක් ලෙසට ද හැඳින්විය හැකිය.

මිලියන 22 ක ජනගහනයක් සිටින ශ්‍රී ලංකාව මාස ගණනාවක් තිස්සේ තම පුරවැසියන්ට ආහාර, ඖෂධ, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීමේ අරගලයක නිරතව සිටියි. අනෙක් අතට, ඉන්දියාව විසින් ගනු ලැබූ මෙම තීරණය ආසියානු රටවල් අතර ඔවුන්ගේ මුදල් ප්‍රචලිත කිරීමට සහ ඇමරිකානු ඩොලරය මත යැපීම අඩු කිරීමට දරන උත්සාහයන් ලෙසටද සැලකිය හැකිය.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව ඉන්දියානු රුපියල් ශ්‍රී ලංකාවේ භාවිතයට අවසර ලබා දීමේ තීරණය මගින් අපනයන, ආනයන සහ ප්‍රේෂණ ඇතුළු සියලුම ජංගම ගිණුම් ගනුදෙනු ශ්‍රී ලාංකික පදිංචිකරුවන් සහ අනේවාසිකයන් අතර සෘජුව සිදු කළ හැකිය.

ශ්‍රී ලාංකිකයන් අතර ගනුදෙනු සිදු කළ හැක්කේ බැංකු මාර්ග හරහා පමණක් බවත් අවසර ලත් ක්‍රියාකාරකම් සඳහා පමණක් බවත් මූල්‍ය විශ්ලේෂකයන් පවසයි.

ආචාර්ය ලලිත් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment