රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයට සමාගමක් එයි : දේශපාලන මැදිහත්වීමක් නෑ

222

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

මෙරට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම දේශපාලනික මැදිහත්වීමකින් තොර දේශීය සමාගමක් මගින් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) පැවසීය.

මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරන අදාළ ආයතනය වෘත්තීය මට්ටමේ අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ සමාගම් පනතට අනුව විධිමත්ව පරිපාලන කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රතිව්‍යුහගත කළ යුතු රජයේ ව්‍යාපාර පබ්ලික් එන්ටප්‍රයිස් හෝල්ඩින්ග් කම්පැනි ලිමිටඩ් (Public Enterprise Holding Company Ltd) නමැති සමාගම යටතට පත් කෙරෙන අතර එම සමාගම මැලේසියානු සහ සිංගප්පූරු සමාගම්වල මොඩලයට සමාන බව අමාත්‍යවරයා කීය.

රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් අතර ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව පාඩු ලබන ආයතන පෞද්ගලිකකරණය කිරීමටත්, රාජ්‍ය -පෞද්ගලික හිමිකාරීත්වය යටතට පත් කිරීමටත් යෝජනා වී තිබෙන බව පැවසූ ඒ මහතා ප්‍රතිව්‍යුහගතකරණය නියාමනය කිරීම සඳහා එක් එක් අංශයට අදාළව වෙන වෙනම නියාමන ආයතන පිහිටුවන බවද සඳහන් කළේය.

පසුගිය දස වසර තුළ රාජ්‍ය ව්‍යාපාර 450ක් ලබා ඇති සමස්ත පාඩුව අමාත්‍යවරයා මෙහි දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ඒ අනුව එම රාජ්‍ය ව්‍යාපාර 2012 වසරේදී රුපියල් බිලියන 183ක්, 2013 දී බිලියන 186ක්, 2014 වසරේ දී බිලියන 186ක් වශයෙන් පාඩු ලබා තිබේ.

2015 වසරේදී අදාළ ආයතනවල පාඩුව රුපියල් බිලියන 271කි. 2016 දී බිලියන 180ත්, 2017 දී බිලියන 260ක්, 2018 දී බිලියන 265ක්, 2019 දී බිලියන 268ක් වශයෙන් අදාළ ආයතන අලාභ ලබා ඇතැයි අමාත්‍යවරයා පැවැසීය.

2020 වසරේ දී බිලියන 436ක අලාභයක් පෙන්වා ඇති එම ආයතන පිළිවෙළින් 2021 සහ 2022 වසරවල ලබා ඇති අලාභය රුපියල් බිලියන 337ක් සහ 322ක් ලෙස සටහන් වී ඇති බව අමාත්‍යවරයා කීය.

සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළේ පසුගිය මස 22දා 27 (2) යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

මීට පිළිතුරු දෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ මෙරට ලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය විකිණීම සඳහා ආණ්ඩුවට කිසිම ජනවරමක් ලැබී නැති බවයි. 1994 වසරේ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ මැතිවරණ ප්‍රකාශනයේම ආණ්ඩුවේ වතු පෞද්ගලික අංශයට දෙන බව සඳහන් වූ බව පැවසූ ඒ මහතා එම ආණ්ඩුව රාජ්‍ය වතු විකිණුවේ ඒ ජනවරම අනුව බවත්, නමුත් මෙම ආණ්ඩුවට එවැනි ජනවරමක් නැති බවත් එවැනි ජනවරමක් නැති ආණ්ඩුව කළ යුත්තේ රට කළ හැකි පිරිසකට භාරදී ඉවත්ව යෑම බවත් කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment