යතුරුපැදියෙන් පැමිණ කතකට මරණ තර්ජන කිරීම ගැන විමර්ශන ඇරැඹුවා – පොලිසිය අධීකරණයට දන්වයි

70

වෙරළබඩ පොලිස් වසමේ හෙට්ටියාවත්ත හන්දිය අසලදී ආරක්‍ෂිත හිස් වැස්ම් පැලඳ සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කරගත් යතුරු පැදිකරුවකු තරුණ විවාහක කාන්තාවකට ඇගේ දියණිය සමග ගමන් කරමින් සිටියදී මරණීය තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇතැයි වෙරළබඩ පොලිසිය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේවින්ද පෙරේරා මහතාට වාර්තා කළේය.

2023.07.28 වැනිදා පස්වරු 7.10 ට පමණ තමන් අසල යතුරු පැදිය නැවැත්වූ එම පුද්ගලයා කිසිදු හේතුවක් නොමැතිව තමන්ට ඉතා අසභ්‍ය වචනවලින් බැනවැදී වැඩි දවසක් යන්නට පෙර තෝව මරනවා මෙතැන කට්ටිය වැඩියි නැත්නම් අදම ඉවරයක් කරනවා යැයි මරණීය තර්ජන සිදු කළබව කටුවන ආරච්චිගේ දොන් වාසනා ආසිරිනි නමැත්තිය කළ පැමිණිල්ල අනුව එම විමර්ශන ආරම්භ කළ බවද පොලිසිය සිය බී වාර්තාව මගින් කියා තිබිණි.

අංගොඩ කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය විවාහවී වසර එකහමාරකට පමණ පසු සිය සැමියාගෙන් වෙන්ව මේ වනවිට වයස අවුරුදු 10 ක් පමණ වන සිය දියණිය සමග ජීවත්වන බවත් ඇයට මෙයට පෙර අවස්ථා දෙකක දීම එලෙස මුහුණු ආවරණ කරගත් පුද්ගලයන් පැමිණ මරණීය තර්ජන කර ඇති බවත් පොලිසිය සිය බී වාර්තාව මගින් කියා තිබිණි. එලෙස මරණීය තර්ජන එල්ල කිරීම් සම්බන්ධයෙන් සිය හිටපු සැමියා සැකකරන බවට ද එම කාන්තාව කළ පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි ද කියා දී තිබූ පොලිසිය එකී තර්ජන නිසා ඇය මෙන්ම ඇගේ දියණියත් දැඩි භීතියට පත්ව ඇතැයි ද අධිකරණයට පවසා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment