ලක්‍ෂ 9ක ලයිසන් ගහන්න අලුත් මැෂින් තුනක්

198

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති රියැදුරු බලපත්‍ර ලබාදීමේ කටයුතු සිදුකිරීම සඳහා නව යන්ත්‍ර තුනක් ගෙන්වා දිනකට රියැදුරු බලපත්‍ර 4000 බැගින් මුද්‍රණය කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා ඊයේ (04 දා) පැවසීය.

මුද්‍රණය කර ගත නොහැකිව ලියැදුරු බලපත්‍ර ලක්‍ෂ නවයක් පමණ ගොඩගැසී තිබූ අතර නව යන්ත්‍ර තුනෙන් එම ලක්‍ෂ 09ක ප්‍රමාණය මුද්‍රණය කරන බව එම කොමසාරිස්වරයා පවසයි. සාමාන්‍ය පරිදි එදිනෙදා සිදුකළ රියැදුරු බලපත්‍ර මුද්‍රණය ඒ ආකාරයෙන්ම සිදුකරන බවත් ඔහු කීය. ගොඩගැසී ඇති රියැදුරු බලපත්‍ර මුද්‍රණය කර දීම මාස හයකින් අවසන් කිරීමට අපේක්‍ෂා කරන බව ද වීරසිංහ මහතා කීවේය.

මෝටර් රථ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් තොරව හමුදා භාරයේ මුද්‍රණ කටයුතු සිදුකළ අවදියේදී නිසි කාලයට මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ඉල්ලා මුද්‍රණ කඩදාසි ගෙන්වීමට ප්‍රමාදවීම, කොරෝනා ව්‍යසනය වැනි හේතු නිසා රියැදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු ගොඩගැසී තිබුණු බව උසස් නිලධාරියෙක් පැවසීය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එවැනි තත්ත්වයක් නොතිබූ නිසා එම දෙපාර්තමේන්තුවේ කටයුතු (පාස්පෝට් මුද්‍රණය) ගොඩගැසීමකින් තොරව සිදුකර ගෙන ගොස් තිබූ බව ද ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment