බිත්තර සැර නත්තල් තෙක්ම

57

නත්තල් සමය අවසන් වනතුරු බිත්තර මිල පහළ දැමිය නොහැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

මේ වනවිට වෙළෙඳ පොළෙහි බිත්තරයක මිල රුපියල් 60ත් 65ත් අතර මිලක පවතී.

රුපියල් 42ත් 55ත් අතර මිලක පැවැති බිත්තර මිල මෙලෙස ඉහළ ගොස් ඇත්තේ මේ වනවිට පවතින ඉල්ලුම සහ පසුගිය වැසි සමය නිසා බිත්තර නිෂ්පාදනය අඩු වීම හේතුවෙන් බව ද බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

බේකරි හිමියන් ද බිත්තර විශාල වශයෙන් ගබඩා කරගෙන සිටින නිසා වෙළෙඳ පොළේ බිත්තර හිඟයක් මතුව ඇතැයි ද එම සංගමය පවසයි.

වෙළෙඳ පොළෙහි පවතින බිත්තර හිඟය පාලනය කිරීමට දැනට ඉන්දියාවෙන් ආනයනය කර ඇති බිත්තර ලක්ෂ 60 කට ආසන්න ප්‍රමාණය වෙළෙඳ පොළට නිකුත් කරන බව වෙළෙඳ හා පාරිභෝගික අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ බිත්තර නිෂ්පාදනය සඳහා වැය වන මිලෙහි වෙනසක් සිදුව නැති බවය. එබැවින් බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන්නේ රුපියල් විස්සක පමණ මිලක් බවත් මෙලෙස බිත්තර මිල ඉහළ යෑම පාලනය සඳහා මිල පාලනයක් ඇති කරන ලෙස තමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් ඔහු කීවේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment