අරගල අරාජිකත්ව සොයන කොමිසම

426

පසුගිය වසරේ මාර්තු අග වන විට ඩොලර් අර්බුදයත්, ගෑස්, විදුලිය හා ඉන්ධන අර්බුදයත් සමග රටේ ආර්ථිකය බරපතළ ගැටලලුවකට මුහුණ දෙමින් පැවතිණි. ඒ සමගම රටේ දේශපාලන කරළියද සැලකිය යුතු ආකාරයෙන් ගිනියම් වෙමින් තිබූ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි මිරිහාන පැඟිරිවත්ත පාර ආසන්නයේ විශාල පිරිසක් රැස්ව මාර්තු 31 වැනිදා රාත්‍රියේ කළ කෝලාහලය ඉතා බරපතළ අන්තවාදී ක්‍රියාවක් හා සමාන විය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව උද්ඝෝෂණයක් සඳහා ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කළ පළමු අවස්ථාව මෙය විය. මිරිහානේ ඇතිවූ සිද්ධිය එක්තරා රූපවාහිනී නාළිකාවක් ඔස්සේ සජීවීව විකාශනය කරමින් තිබිණි. එය මේ ගින්න ඇවිලීමට වඩා හේතුවක් විය. එම රූපවාහිනී නාලිකාව මිරිහානට පැමිණෙන ආකාරය වඩා හොඳින් විස්තර කරන්නට වූ බව අපට මතකය. එදා මේ ප්‍රහාරකයන්ට එරෙහිව දැඩි මර්දනකාරී ප්‍රහාරයක් එල්ල නොවීය. ඇත්තෙන්ම වෙඩි තබා හෝ මේ පිරිස පාලනය කළ යුතු විය. නමුත් හිටපු ජනපතිවරයා එයට අණ දුන්නේ නැත. එය බරපතළ වරදකි. එනිසාම ජුලි 09 ඔහුට පැන යන්නට සිදු විය. තේමිය කුමාරයා ලෙස රට පාලනය කරන්නට නොහැකිය.

දිනක් රජතුමා තේමිය කුමරු උකුලේ හිඳුවාගෙන රාජ සභාවේ දී සොරුන්ට දඬුවම් නියම කරමින් සිටියා. ඒ දඬුවම් ඉතා දරුණු යි. එක් සොරෙක් සිර කරන්නටත්, තව කෙනෙකුට ආයුධවලින් පහර දෙන්නටත්, තව කෙනෙක් උල තබන්නටත් අණ කරනු ලැබුවා. පුංචි තේමිය කුමාරයා හරිම නුවණක්කාර යි. විමර්ශනශීලී යි. ඔහුට මෙසේ සිතුණා. “මගේ පියා මේ රටේ රජතුමා යි. අනේ! ඒත් ඔහු මොනතරම් නම් පව් කර ගන්නවා ද?” මෙසේ කල්පනා කරමින් සිටින කුමාරයාට පෙර ජාති සිහි කිරීමේ හැකියාව ඇති නුවණ පහළ වුණා. තමා මීට පෙර ජාතියක දී අවුරුදු විස්සක් රජකම් කර ඇති බවත්, ඒ කාලයේ දී කරගත් පව් ගෙවන්නට ඔසුපත් නමැති අපායේ ඉපදී අවුරුදු අසූ දහසක් විපාක විඳි බවත්, පුංචි කුමාරයාට සිහිවුණා. ඒ වෙලාවේ සිටම මේ කුමාරයා කල්පනා කළේ මේ ජීවිතයේ දී රජකම නොගෙන එයින් ගැලවෙන්නේ කෙසේද යනුවෙනු යි. අවසානයේ රජකමෙන් ගැලවෙන්න ගොළුවෙක්, බීරෙක්, කොරෙක් වගේ ජීවත් වුණ බව ජාතක පොතේ සඳහන් වෙයි. නමුත් රජකමට පත්වූ විට නම් ගොළුවෙක්, බීරෙක්, කොරෙක් ලෙස ජීවත්විය නොහැකිය. එදා මිරිහානේදී ආරම්භ වූයේ අරාජිකත්වයේ ගමනයි. එය කූටප්‍රාප්ත වූයේ ජුලි 09 වැනිදාය. 69 ලක්ෂයේ ජනපතිගේ ඉරණම එයින් සටහන් විය. ජුලි 09 වැනිදා දහවල් වන විට ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති මන්දිරයෙන් ඉවත්ව නාවික හමුදා රැකවරණය යටතේ නාවික හමුදා යුද නෞකාවකින් කොළඹින් පිටවන්නට සිදුවිය. ජුලි 13 වැනිදා අලුයම ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් අසල්වැසි මාලදිවයින බලා පිටත්ව ගියේය. ඒ සිය බිරිඳ හා ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සමඟය. ඉන්පසු මාලදිවයිනෙන් සිංගප්පූරුවට ගිය ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුව තායිලන්තය පිටත්ව ගියේය. එහි මාස කිහිපයක් ගතකළ ඔහු දැන් ලංකාවේ වාසය කරයි. ඇමෙරිකාවට යෑම සඳහා මෙතෙක් ඔහුට වීසා හිමිව නැත.

කවරක් නමුත් වත්මන් ජනපතිවරයා අරගලකරුවන්ට පිළිතුරු දෙන ආකරයට එදා මිරිහානේ ප්‍රචණ්ඩත්වයට පිළිතුරු දුන්නානම් රාජපක්ෂ මහතාට අදත් බලයේ සිටින්නට වාසනාව උදාවන්න ඉඩතිබිණි. නමුත් වැරැද්ද ඔහුගේමය. මිරිහාන සිදුවීමෙන් පොලිස් බස් රථ 3කට අලාභ හානි සිදු වූ අතර, යුද හමුදාවට අයත් බස් රථයක්, ත්‍රිරෝද රථයක්, යතුරු පැදි 2ක් සහ පොලිසියට අයත් ජීප් රථයකටත් අලාභ හානි කර තිබිණි. සිදු කළ ගණනය කිරීම්වලදී උද්ඝෝෂණය හේතුවෙන් සිදු වී ඇති හානියේ වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 40 ඉක්මවා තිබිණි. එහෙත් එදා මේ ප්‍රචණ්ඩත්වය සිදු කළ කළහාකාරීන් පොලිසියේදී මෙන්ම අධිකරණයේදී පිළිගැනුනේ අත්පුඩි ගැසීමෙනි. මෙය බලවත් ඛේදයක්ම විය. ප්‍රචණ්ඩත්වය ප්‍රහර්ෂයට ලක්කෙරිණි. ඒ හරහා අරගලයට මග විවර විය. අප්‍රේල් 09 වැනිදා සිට ඊනියා නිර්පාක්ෂික කණ්ඩායම් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කුඩාරම් ඉදිකර පදිංචි විය. මෙය “ගෝඨාගෝගම” යනුවෙන් හැඳින්විණි. මේ කණ්ඩායම් එම භූමියෙන් ඉවත්කිරීමට හිටපු ජනපතිවරයා කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් අතර එනිසා ජනපති ලේකම් කාර්යාලයේ ක්‍රියාකාරිත්වය අඩපණ විය. රාජ්‍ය අරාජිකත්වය ක්‍රමයෙන් වැඩෙන්නට විය. මැයි 09 වැනිදා සිදුවූ අවාසනාවන්ත සිද්ධීන් වලින් පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ජුනි 09 වැනිදා බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ධුරයන්ගෙන් ඉවත්වන ලෙස බලකරමින් ජාතික විරෝධතා දිනයක් 2022 ජූලි 09 වැනිදා රටපුරාම සංවිධානය කර තිබිණි. ජනපති මන්දිරය අරගලකරුවන් විසින් අල්ලාගත් අතර ජනපති ලේකම් කාර්යාලයද ඔවුන් සතු විය. ජුලි 09 දා රාත්‍රියේ දී කොළඹ 7 පස්වන පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස අරගලකරුවන් විසින් නිවසට ගිනි තබා තිබුණි. එයට ප්‍රචාරය ලබා දුන්නේද මිරිහාන ගැටුමට උල්පන්දම් දුන් නාලිකාවම විය. ලෝකය පුරාම මේ සිදුවීම් ප්‍රචාරය වූයේ ලංකාවේ නාමයට බලවත් කැළලක් එක්කරමිනි. එය ලෙහෙසියෙන් මැකිය නොහැකිය. නමුත් මේ අරගලය සිදුවූයේ බහුතර ජනතා කැමැත්ත මත නම් නොවේ. එය ප්‍රචණ්ඩ පිරිසකගේ වුවමනාවකි. මේ අරගලකරුවෝ නිර්පාක්ෂික හැව ඉවත දමා දැන් විවිධ දේශපාලන පක්ෂවලට එක්ව සිටිති. හොඳම උදාහරණය දමිතා අබේරත්න ගේ කතාවයි. එනිසා නිර්පාක්ෂික අරගලයේ රෙද්ද ගැලවිණි. මේ අරගලය සැබවින්ම මෙරට බහුතර සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වූවකි. බොර්න් එගෙන් නිකාය එහි වඩා බලවත් විය. දේශපාලක උපදෙස් මෙන්ම පල්ලියේ උපදෙස් පිළිපදින භික්ෂු පිරිසක්ද මෙහි විය.

ඇත්තෙන්ම ඉකුත් වසරේ ඇතිවූ අරගලය හරහා ඇති වූ රාජ්‍ය අරාජිකත්වය පිළිබඳව සහ රටේ යහපැවැත්මට හානිකර සිදුවීම් පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක් පත් කර තිබීම කාලෝචිත බව සටහන් කළ යුතුය. මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ උපදෙස් මත මෙම කොමිසම පත් කර තිබේ.

විශ්‍රාමික දිසා විනිසුරු පර්ල් කරල්ලියද්ද මහත්මිය මෙම කොමිසමේ සභාපතිනිය ලෙස ද ආචාර්ය දුලිප් පලිහවඩන මහතා ලේකම්වරයා ලෙස ද කටයුතු කරති. ජනාධිපති නීතිඥ යූ. ආර් ද සිල්වා, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, මහාචාර්ය නිමල් ද සිල්වා, මහාචාර්ය මාලිනී ඇදගම, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක, මේජර් ජනරාල් ජගත් ඩයස්, මේජර් ජනරාල් විජිත රවිප්‍රිය, ආචාර්ය එල්. එම්. කේ. තිලකරත්න, ආචාර්ය හර්ෂ විජේවර්ධන, විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්තු, විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකටුව, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලලින්ද්‍ර රණවීර, සුරේන් අබේගුණසේකර, චාමින්ද කරුණාරත්න, ගාමිණී මුණසිංහ, පානි වෑවල, ෂෙනාලි වඩුගේ, සමන්ත කල්හාර සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ යන මහත්ම මහත්මීහු මෙම කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස කටයුතු කරති. මෙම කොමිෂන් සභාව වෙත මීට අදාළව තොරතුරු ඉදිරිපත් කරන ලෙස මහජනතාවට, ආයතන සහ සමිති සමාගම් වෙත ආරාධනා කරන අතර මෙසේ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ, ආයතනවල හෝ සමිති සමාගම්වල රහසිගතභාවය රැකගතයුතු බව සඳහන් කරන්නේ නම් එය තහවුරු කරන බව කොමිසමේ ලේකම් ආචාර්ය දුලිප් පලිහවඩන මහතා පවසයි.

ඉකුත් වසරේ ශ්‍රී ලංකා රාජ්‍ය අරාජිකත්වයට පත්වීම පිළිබඳව පොදුවේ කරුණු අධ්‍යනය කර වාර්තා කිරීමට අමතරව රාජ්‍ය නොවන සංවිධාන, දෙමළ ඩයස්පෝරාව, අන්‍යාගමික සහ අනාගමික කණ්ඩායම් විසින් වෙනත් කණ්ඩායම් යොදවා බෞද්ධ භික්ෂූන් වහන්සේ හිංසනයට පත්කොට පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ජනතාව අතර අප්‍රසාදය ඇති කිරීම, එම සංවිධාන විසින් බෞද්ධ විරෝධී කටයුතුවලට මුදල් ආධාර සැපයීම, අන්තවාදී දේශපාලන කණ්ඩායම් විසින් උසස් අධ්‍යාපනය හදාරන පැවිදි සිසුන්ගේ මනස විකෘති කර තම ව්‍යාපාරවලට යොදවා ගැනීම, 2023 මැයි 09 වැනි දින ගෝල්ෆේස් භූමිය ආශ්‍රිත සිදුවීම් සහ ප්‍රජාතන්ත්‍රවාදීව පැවැති ජනාධිපතිවරණයකින් බලයට පැමිණි ජනාධිපතිවරයා කෙටි කලකින් ජාතිය ඇමතීමකින් පවා තොරව රට හැර යෑමට හේතු වූ කරුණු විමසීම, එම වකවානුව තුළ නීතිඥ ප්‍රජාවේ ඇතැම් සාමාජිකයන්ගේ ක්‍රියා කලාපය, බුද්ධි අංශවල කාර්ය භාරය නිසි අයුරින් ඉටුවූවා ද යන්න, මෙම අවධිය තුළ මාධ්‍ය ක්‍රියාකාරිත්වය ඇතුළු කරුණු 17ක් පිළිබඳ මෙම කොමිසම කරුණු විමර්ශනය කිරීමට නියමිතය.

මෙම කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු හමුදාපති දයා රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ රට ආරාජිකත්වයට පත්වන විට එය වැළැක්වීම සඳහා ආරක්ෂක අංශවලට බලයක් ඇති බවත් ඒ සඳහා නියෝගයක් අවශ්‍ය නොවන බවය. ජනපතිවරයාගේ ගෙට ගල් ගසන තෙක් ජනපති මන්දිරයේ පිහිනුම් තටාකවල අරගලකරුවන් පිහිනන තෙක් ආරක්ෂක අංශ බලා සිටිය යුතු නැති බව හිටපු හමුදාපතිවරයා සාක්ෂි දෙමින් පවසා ඇත. එම නිසාම ජුලි 09 වැනිදා අපේ ආරක්ෂක අංශ වගකීම පැහැර හැර ඇති බව ඔහු කියයි. එසේම ආරක්ෂක ලේකම්වරයා ත්‍රිවිධ හමුදාපතිවරු මෙන්ම පොලිස්පතිවරයාද සිය වගකීම පැහැර හැර ඇති බව දයා රත්නායක මහතා අවධාරණය කර තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment