ත්‍රිමලේ අක්කර 7000ක් ඉන්දියාවට දෙන්න හදනවා – දුමින්ද නාගමුව

93

‘ඉන්දියාවේ ආර්ථික මැදිහත්වීමට එරෙහිව ජනාරගල ව්‍යාපාරයෙන් අද ත්‍රිකුණාමලයේ විරෝධතා

ඉන්දියාව ශ්‍රී ලංකාවේ සිදු කරන ආර්ථික මැදිහත්වීමට එරෙහිව අද (16 දා) දිනයේ ත්‍රිකුණාමලයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බව ජන අරගල ව්‍යාපාරය කියයි. අද පෙරවරු දහයට එය තිකුණාමලය නගරයේ පැවැත්වෙන බව එහි මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව මහතා ඊයේ පැවසීය.

‘ගම්බිම් අහිමි කර ත්‍රිමලේ ජනතාව වහලුන් කරන ඉන්දියානු ආර්ථික කලාප වැඩපිළිවළ පරදවමු’ යන තේමාව යටතේ මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවද ඔහු කීවේය.

නාගමුව මහතා මෙසේ ද සඳහන් කළේය.

2023 දී ත්‍රිකුණාමලය චීන වරායේ පිහිටි දකුණු ආසියාවේ විශාලතම තෙල් ගබඩා සංකීර්ණයේ තෙල් ටැංකි 14 ක් මාස 06 ක තාවකාලික බදු ගිවිසුමක් මගින් ඉන්දියාවට දුන්නා. දැන් ඉනිදියාව ඉතිරි තෙල් ටැංකි 85 ත් තෙල් ටැංකි සංකීර්ණය පිහිටි අක්කර 851 ක භූමියත්, කලාපීය බලවතාගේ භූමිකාව රඟ දක්වමින්, පරිහරණය කරනවා.

එහෙම කරන ඉන්දියාවට මෙරට නිවට නියාලු පාලකයන්, ජපන් ආධාර ඇතිව යුද්ධයෙන් පස්සෙ සංවර්ධනය කළ, ලොව විශාලතම වරායන්ගෙන් එකක් වන ත්‍රිකුණාමලය වරාය ඉඩම් (ඉන්දියානු ආර්ථික කලාපය නමින්) අක්කර 7000 ක් එක්ක ඉන්දියාවට දෙනවා.

ඒ විතරක් නෙමෙයි සාම්පූර්වල පුණර්ජනනීය බල ශක්ති බලාගාරයක් ඉන්දීය ව්‍යාපෘතියක් ලෙස ඉදිකිරීමට මූලික කටයුතු කෙරෙනවා.

වාර්තාවන තොරතුරු අනුව මේ කලාපය තුළ ආරක්ෂක කටයුතු, වරාය කටයුතු, ප්‍රවාහන පහසුකම්, බන්ධනාගාර, අපනයන සැකැසුම් ස්ථාන, පුරාවිද්‍යා ස්ථාන, විශ්වවිද්‍යාල පිහිටුවීමට නියමිතයි.

දැනටමත් අෂ්රොෆ් හා සිලෝන් ජැටි ආශ්‍රිව ජීවත් වෙන පවුල් 114 කට ඉවත් වෙන්න කියලා දැනුම් දීලා. සමුද්‍රගම හා පුම්පුහාර් ධීවර ගම්මාන දෙකේ නව ඉදිකිරීම් හා අලුත්වැඩියා තහනම් කරලා. සාම්පූර්වල ජනතාවගෙන් කලින් ගත්තු ඉඩම් ඩෝසර් කරනවා. මේ මොහොත වන විටත් කප්පල්තුරෙයි හා නාච්චිකුඩා ගම්මානවල ජනතාව කාලාන්තරයක් භුක්ති විඳි ඉඩම්වල මැනුම් කටයුතු කරනවා.

මේ සංවර්ධන සැලස්මට ත්‍රිකුණාමලය නගර සැලසුම ක්‍රියාත්මක කිරීමට බැක්බේ ධීවර වරාය, සමුද්‍රගම තොටුපළ, අත්පත් කර ගන්නවා. ඒ අනුව සමුද්‍රගම, පත්තානම්බර්, විජිතපුර ධීවරයන්ට සිය පාරම්පරික ධීවර බිම් අහිමි වෙනවා. ඔරලෝසු කණුව අසල සිට කි: මී: 02 ක පමණ විහිදෙන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට, පදංචිකරුවන්ට, ත්‍රිරෝද රථ රියැදුරන් ඇතුළු සියල්ලන්ට සිය උන්හිටි තැන් හා ජීවනෝපාය අහිමි වීමට නියමිතයි.

ඒ විතරක් නෙමෙයි වරාය අවට පදිංචි වරායට ගැසට් කළ ඉඩම්වල පවුල් 8000 කට සිය වාසස්ථාන අහිමි වෙනවා. වෙරළබඩ කලාපයේ ධීවරයන්ගේ පවුල් 3000 කට ද සිය වාසස්ථාන අහිමි වෙනවා. මේවායේ පදිංචිකරුවන් කි: මී: 10 ක් තම පදංචි ස්ථනවලින් එපිට ප්‍රදේශවල පදිංචි කරන්න නියමිතයි. හැබැයි ඔවුන්ගේ රැකියාවට මොක ද කරන්නෙ කියලා කිසිදු තැනක සඳහනක් නැහැ. මේ පාලකයන් අපේ දේපළ විකුණන් කනවා හැර, අපිට වගකියන්නේ නැහැ.

ඊට එරෙහිව තමයි අද අපි විරෝධතාව කරන්නේ යැයි නාගමුව මහතා පැවසීය.

මීට අමතරව රටට අහිතකර තවත් කරුණු රැසක් ඇතැයිද ඔහු කීය.

ඔහු මෙසේ ද කීවේය.

රනිල් ඉන්දියාවෙ ගිහින් ඉන්දීය අගමැති මෝදි සමග ගිවිසුම් ගණනාවක් අත්සන් කරනවා. මේ ගිවිසුම් ගැන මෙරට පාර්ලිමේන්තුවවත් දැනුවත් කර නෑ. ත්‍රිමලේ බලශක්ති, ආර්ථික සහ කාර්මික කලාපයක් ඇතිකිරීම, ත්‍රිමලේ සහ කොළඹ වරාය ඉන්දියානු සැපයුම් කටයුතු වලට ලබාදීම, ඉන්දියාවේ සිට මෙරටට තෙල් නළ එළීම, ඉන්දියාව සහ ලංකාව යාකර ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීම, ඉන්දියානු රුපියල මෙහි භාවිතා කිරීම ආදී බරපතළ ගිවිසුම් මීට ඇතුළත්.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment