කොරෝනා නිසා නිවසට කොටුවූ දරුවන්ට ඇතිවන ශාරීරික ආබාධ

148

* දැනටමත් පෙනීමේ දුර්වලතා ඇති බව අක්‍ෂි රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසති
* නිතරම එළිය විහිදුවන තිරයක් බලා සිටින බැවින් සෑම විනාඩි 10 ට සැරයක් ඈත බලන්න
* සෑම විනාඩි 10කටම සැරයක් විනාඩියක්වත් විවේකයක් ගන්න
* ෆෝන් එකේ හෝ පරිගණක තිරයේ එළිය අඩුකර ගත හැකි නම් සුදුසුය තෙල් කෑම පිටි කෑම අඩු කරන්න
* දෙපා බකලවීම ඇති දරුවන්ද විශාල වශයෙන් මුණ ගැසේ

ලොව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන කොවිඞ්-19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් දැනට වසරකට වඩා වැඩි කාලයක් පාසල් ළමුන් නිවසේ සිට අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වේ. මේ තත්ත්වය නිසා දැනට බොහෝ ගැටලූ පැනනැඟී ඇත. ඒ අතරින් ප‍්‍රධාන වන්නේ දරුවන්ගේ ගෙලේ සහ කොන්දේ ඇති වන වේදනා වේ. එයට අමතරව අත දිගේ දිවයන වේදනාව, ඇඟිලි හිරිවැටීම්, මැණික් කටුව ආසන්නයේ ඇති වේදනාව, වැලමිට ආසන්නයේ ඇති වේදනා වේ.

පරිගණක භාවිතය නිසා

අධ්‍යාපනය සඳහා දරුවන් භාවිතා කරන්නේ ලැප්ටොප් පරිගණක, ටැබ් සහ ස්මාට් දුරකථන වන අතර මේවා භාවිතා කිරීමේදී නිතර ඇඟිලිවලින් මෙහෙයවීම (Sweep) නැතිනම් ඇඟිලිවලින් තිරය පැත්තකට පිරිමැදීම කළ යුතුවේ.

පේශී දුර්වලතා

මේ චලනය නිසා මාපට ඇඟිල්ල දාරයේ මැණික් කටුව ආසන්නයේ වේදනාවක්ද (Teno Sinnvitis) වැලමිට ආසන්නයේ වේදනාවක්ද (Tennis Elbow) ඇතිවේ. ඒ අදාළ පේශී නිරතුරු එකදිගට වැඩ කිරීමෙන් වෙහෙසට පත්වීමෙනි. තවද හිස නවා දුරකථනය හෝ පරිගණකය තිරය වෙත බලා සිටීම නිසා ගෙලෙහි වේදනාව සහ පෙළ අවට මාංශ පේශීවල දෘඩ බවක් (Musele Spasm) ඇතිවේ. මේ නිසා අතට දිවයන ස්නායුද තෙරපී හිරිවැටීම්ද ඇතිවිය හැක. ඊට අමතරව පපු ප‍්‍රදේශයට සහ හිසේ පිටුපසට වේදනාවක්ද ඇතිවේ. මේ වැළැක්වීමට දුරකථන තිරය හෝ පරිගණක තිරය ඇස් මට්ටමට ගෙන එය කළ යුතුය. චිත‍්‍ර ඇඳීමට යොදා ගන්නා ආනත තලය වැනි හැඩයට තිරය තබාගත යුතුය. කොන්ද පුටුවේ කෙළවරට වන සේ ඉඳගෙන හිස පුටුවේ හේත්තු කරගෙන මේසය ළඟටම පුටුව ගෙන පාඩම්වල නිරත විය යුතුය. කෑම මේසයට තබන පුටු මේ සඳහා සුදුසුය. දැනටමත් වේදනාවක් ඇත්නම් නළලට අත් තබා හිසෙන් ශක්තිය ගෙන අත් තද කරන්න. චලනය නොවන සේ වරින් වර අත් දෙක හිසේ හතර පැත්තටම තබා මෙය කරන්න. ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කිරීමේදී (Sweep) එකම ඇඟිල්ල භාවිතා නොකරන්න. නැතහොත් සෑම විනාඩි 10 කටම සැරයක් විනාඩියක්වත් විවේකයක් ගන්න.

පෙනීමේ දුර්වලතා

ස්මාට් ෆෝන් එකේ හෝ පරිගණක තිරයේ එළිය අඩුකර ගත හැකි නම් සුදුසුය. නිතරම එළිය විහිදුවන තිරයක් බලා සිටින බැවින් සෑම විනාඩි 10 ට

සැරයක් ඈත බලන්න. බොහෝ ළමයින්ට දැනටමත් පෙනීමේ දුර්වලතා ඇති බව අක්‍ෂි රෝග විශේෂඥ වෛiවරුන් පවසති. පරිගණක තිරය ඇස් මට්ටමට වඩා ඉහළින් තිබුණොත් ඇස් නිතර ආයාසයෙන් විවර කරමින් එය බැලීමට සිදුවන බැවින් ඇසේ වියළි බවක් ඇතිවේ. එසේ වන්නේ ඇසි පිය ගැසීම අඩුවී ස්නේහනය නැතිව යන නිසාය.

කොඳු ඇට පෙළ දුර්වලතා

බිම තබාගෙන සහ ඇඳන්හි සිට ලිවීම නිසා බොහෝ ළමයින්ට කොඳු ඇට පෙළේ විකෘතිතා ඇතිවේ. කයිපෝසිස් (Kyphosis) සහ ස්කෝලියෝසිස් (Scholisis) තත්ත්ව ඒ අතරින් ප‍්‍රධනා තැනක් ගනී. එබැවින් දරුවා පාඩම් කරන ඉරියව් ගැන දෙමාපියන් අවධානය යොමු කරන්න.

ස්ථුලතාවයට පත්වීම

පරිගණකයටම යොමු වීම නිසා ශරීරයට ව්‍යායාම නොලැබී යෑමෙන් දරුවන් අධික බර නැතහොත් ස්ථුල භාවය වැනි රෝගවලට ලක්වේ. මේ වන විට දියවැඩියා ඇති ළමයින්ද දක්නට ඇත. එබැවින් ඔවුන් ශරීරය වෙහෙසවන කී‍්‍රඩාවලට යොමු කරන්න. ගෙදර සිටින බැවින් ආහාර රටාවද වෙනස් කරන්න. නොයෙකුත් තෙල් කෑම පැණි රස කෑම, පිටි කෑම අඩු කරන්න. පලතුරු එළවලූ කොළ වැනි ධාන්‍ය වර්ග වැඩිපුර දරුවන්ට දෙන්න.

විටමින් ඞී. ඌණතා

හිරුඑළියේ නිරාවරණයට නොයන බැවින් දැනට විටමින් ‘ඩී’ ඌණතාවයක් ඇති දරුවන් මෙන්ම වැඩිහිටියන්ද සිටිති. විශේෂයෙන් කුඩා දරුවනට විටමින් ‘ඩී’ අඩු වුණොත් අස්ථි රෝග ඇතිවේ. දෙපා බකලවීම ඇති දරුවන්ද විශාල වශයෙන් මුණ ගැසේ. එබැවින් උදෑසන අව්වේ පැයක්වත් කි‍්‍රයාකාරකමක දරුවන් යොදවන්න.

පෙනහළු දුර්වලතා

කොරෝනා වෛරස හෝ වෙනත් වෛරසයක් ශරීර ගත වූවොත් ශ්වසන පද්ධතියේ ආසාදන ඇතිවේ. ශ්වසන රෝග, නියුමෝනියා තත්ව ඇතිවිය හැකිය. යම් හෙයකින් එසේ ආසාදනයක් ඇති වුවොත් ඉන් වෙන සංකූලතා අවම කිරීමට පෙනහළු ශක්තිමත් කරගෙන සිටීම වැදගත් වේ. ඒ සඳහා මේ දිනවල ගෙදරදී සියලූ දෙනාටම හුස්ම ගැනීමේ ව්‍යායාම කළ හැකිය. මෙහිදී පෙනහලූ ධාරිතාව වැඩිකරගත හැකිය. එවිට වැඩි ඔක්සිජන් ප‍්‍රමාණයක් ලබාගත හැකි බැවින් සෙම ස‍්‍රාවයක් වැනි දේ පැමිණියත් ඉන් වන බලපෑම අවම කරගත හැකිය. අතල 3 ක් ඔස්සේ පෙනහලූවල ධාරිතාව වැඩි කර ගැනීමට හුස්ම ගැනීමේ ව්‍යායම 3 ක් ඇත. ඉදිරියට පපුව පුම්බමින්, පැත්තට පපුව පුම්බමින් සහ උදරය ඉදිරියට එන ලෙස හුස්ම ගැනීම මෙම ව්‍යායාමවල නිරත විය හැක.

කොරෝනා නිසා නිවසට කොටුවූ දරුවන්ට ඇතිවන ශාරීරික ආබාධ

ජාලිය උඩුවැල්ල
ප‍්‍රධාන භෞත චිකිත්සක
රිජ්වේ ආර්යා ළමා රෝහල

කොරෝනා නිසා නිවසට කොටුවූ දරුවන්ට ඇතිවන ශාරීරික ආබාධ

advertistmentadvertistment
advertistmentadvertistment