සුමන්තිරන් හා ශ්‍රීධරන් අතරට තවත් තරගකරුවෙක්

92

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය (TNA) සඳහා නව නායකයකු තෝරා ගැනීමට අයැදුම් පත් කැඳවීමේදී මේ දක්වා අයැදුම් පත් දෙකක් පමණක් ඉදිරිපත් වී තිබූ නමුත් පසුව තවත් එක් අයැදුම් පත්‍රයක් ඉදිරිපත් වී තිබේ.

ඒ නැගෙනහිර පළාත නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී යෝගේෂ්වරන් නමැති අයගෙනි.

මීට පෙර පක්ෂයේ නායකත්වය සඳහා අයැදුම් පත් යොමු කර තිබුණේ එම්.ඒ. සුමන්තිරන් හා එස්. ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් දෙදෙනාය. මේ අතරවාරයේ නැගෙනහිර පළාතෙන් නව සාමාජිකයකු පක්ෂයේ නායකත්වයට අයැදුම්පතක් ඉදිරිපත් කිරීමත් සමගම පක්ෂයේ නායකයා තෝරා ගැනීම ව්‍යාකූල මෙන්ම දැඩි තරගකාරී තත්ත්වයක් බවට පත්ව තිබේ. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ වත්මන් නායක මාවෙයි සේනාධිරාජා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වයෝවෘද්ධභාවය හා ඉතා දිගු කලක් පක්ෂයේ නායකත්වයේ කටයුතු කිරීම නිසා ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව පක්ෂය සඳහා නව නායකයකු තෝරා පත් කර ගැනීම පිණිස අයැදුම්පත් කැඳවා තිබේ.

ලබන ජනවාරි මාසයේදී වවුනියාවේදී පැවැත්වෙන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී නව පක්ෂ නායකයා තෝරා ගැනීමට ඡන්දය විමසීමට නියමිතව ඇත. මේ අතර දැනට දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන ආර්. සම්පන්දන් මන්ත්‍රීවරයා ද දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ බව දැනුම් දී තිබේ. ඒ අනුව මෙවර ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා බවට පත්වන පුද්ගලයා දෙමළ ජාතික සන්ධානයේ ද නව නායකයා විය හැකි බව එම පක්ෂයේ කීපදෙනෙක් ම සඳහන් කර සිටියහ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment