අයවැයෙන් සහන බලාපොරොත්තු වූ ජනතාවට ලැබුණේ අධික බදු බරක් – සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

52

වැට් බද්ද ගැන ආණ්ඩුවේ තිබෙන්නේ දෙබිඩි ප්‍රතිපත්තියක්

ජනපති වැල් පාලමෙන් ගොඩ කරන්නේ රට විනාශ කළ හොරු රැලයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක

2024 අයවැයෙන් සහන රැසක් ලැබෙයි කියා ජනතාව බලාපොරොත්තුවන් සිටියත් ජනතාවගේ එම බලාපොරොත්තු කඩ වී ඇති බවත් අයවැයෙන් ලැබී තිබෙන්නේ සහන නොව අධික බදු බරක් බවත් 2023 අවුරුද්දට වඩා අති භයානක අවුරුද්දක් බවට 2024 අවුරුද්ද පත්වෙන බවත් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඉකුත් 14 වැනිදා පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත්අදහස් දක්වමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේ පැවැසීය.

රටේ ආර්ථිකය හදනවා, රටේ ආර්ථිය යම් තැනකට ගෙනල්ලා තිබෙනවා කියලා රජය පවසන විට ජනතාව බලාපොරොත්තු වුණා 2024 අයවැයෙන් සහන රැසක් ලැබෙයි කියලා. නමුත් ජනතාවට 2024 අයවැයෙන් ලැබිලා තිබෙන්නේ සහනයක් නෙවෙයි අධික බදු බරක්. 2023 වසර ජනතාවට ජීවත් වීමට අපහසු වුණ, ජනතාවගේ ආර්ථිකය පහළට වැටුණු අවුරුද්දක්. ඒ වගේම 2023 අවුරුද්දට වඩා අති භයානක අවුරුද්දක් තමයි 2024 අවුරුද්ද. ආර්ථිකය තවත් කඩා වැටෙන අවුරුද්දක් බවට 2024 අවුරුද්ද පත්වෙනවා.

2024 වසර කියන්නේ ජනතාවට ජීවත්වීමට ඉතා අපහසු ආර්ථිකය කඩා වැටෙන අවුරුද්දක්. අයවැය ආදායම ජනතාවගෙන් අයකරගන්න ආණ්ඩුව වැට් බද්ද සියයට 18 ක් දක්වා වැඩි කළා. වැට් බද්ද පිළිබඳ කතා කිරීමට ආණ්ඩුව විපක්ෂයට අවස්ථාව ලබාදුන්නේ නෑ.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුත් වැට් බද්ද සම්බන්ධයෙන් එකඟතාවයක් නෑ. වැට් බද්ද සම්බන්ධයෙන් ආණ්ඩුවේ තිබෙන්නේ දෙබිඩි ප්‍රතිපත්තියක්. මහින්ද රාජපක්ෂ අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙනවා. නාමල් රාජපක්ෂ වැට් බද්දට විරුද්ධව කතා කරනවා. මොවුන් ඉස්සර කළෙත් ජනතාව රැවැට්ටුවා. අදත් ජනතාව රවට්ටනවා. බදු අයකර නොගත් බැංකුවලට කෝටි ගණන් ණය තිබෙන ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ගෙන් එම මුදල් අය කරගන්නේ නැතුව ආණ්ඩුව රටේ සාමාන්‍ය ජනතාවගෙන් බදු අයකරන්න උත්සහ කරනවා.

වැට් බද්ද සියයට 18 ත් සමාජ ආරක්ෂණ බද්ද සියයට 2.5 ත් සියයට 20.5 ක් අත්‍යාවශ්‍ය භාණ්ඩවලට එකතු වෙනවාත් එක්කම අත්‍යාවශ්‍ය භාණ්ඩ සියල්ලගේම මිල ඉහළ යනවා. 2024 ජනවාරි පළමු වැනිදායින් පසුව සෑම ඉන්ධන ලීටරයක්ම රුපියල් 60 ත් 70 ත් අතර මුදලකින් වැඩි වීමටත් නියමිතයි.

රනිල් වික්‍රමසිංහ පොහොට්ටු අණ්ඩුව විදුලිබිල හතර ගුණයකින් වැඩි කරලා තිබෙනවා. ඒ වගේම මේ දිනවල සියයට 70 ක් පමණ විදුලිය නිෂ්පාදය කරන්නේ ජලයෙන්. ආණ්ඩුව විදුලි බිල වැඩි කරද්දී අසීමිත වෙලා වැඩි කරනවා. නමුත් ජලයෙන් විදුලිය නිෂ්පාදනය කරද්දී ලැබෙන ලාභය සහනයක් ලෙස ජනතාවට ලබාදෙන්නේ ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ. ඒ සහනය වහාම ජනතාවට ලබාදිය යුතුයි.

1994 දී දළ දේශීය නිෂ්පාදනයෙන් ගොවියාගේ කොටස සියයට 20 ක්. අද වනවිට එය සියයට 7.5 දක්වා අඩු වෙලා තිබෙනවා. ගොවියා අද දුප්පත් වෙලා තිබෙනවා. ගෝඨාභයගේ කාබනික පොහොර තීන්දුව නිසා ගොවියා නැත්තටම නැති වෙලා තිබෙනවා. ගොවියාගේ නිෂ්පාදනය අද සියයට 35 කින් 40 කින් අඩුවෙලා. මෙවැනි තත්ත්වක් තුළ 2024 අයවැවෙන් ට්‍රැක්ටර්වලට, පොහොරවලට, උදලු තලයට සියල්ලටම වැට් බද්ද පනවලා තිබෙනවා.

රටේ කර්මාන්තශාල සියයට 30 ත් 40 ත් අතර ප්‍රමාණය වැහිලා ගිහිල්ලා. කර්මාන්තශාලා හිමියන් වෙනත් රටවලට කර්මාන්තශාලා රැගෙන යන්න කටයුතු කරලා තිබෙනවා. සියයට 80 ක ආදායමක් රටට ලැබෙන්නේ කර්මාන්තශාලාවලින්. ඒ සියල්ල වර්තමාන ආණ්ඩුව විනාශ කරලා තිබෙනවා.

රටෙන් හොරකම් කළ මුදල් නැවත රටට ගෙන ඒමෙන් ඩොලර් බිලියන 96 ක් වන රටේ ණයෙන් විශාල කොටසක් ගෙවන්න පුලුවන්. රටෙන් හොරකම් කළ මුදල් ගැන ආණ්ඩුව කිසිදු පරීක්ෂණයක් මේවනතෙක් කරලා නෑ. රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්නේ රටේ මුදල් මංකොල්ලකාපු පිරිසත් සමගයි.

රටේ හොරකම, දූෂණය, වංචාව නතර කරන්න ජනාධිපතිවරයා කිසිඳු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. තෙල් ගැනීමේදී, ගල් අඟුරු ගැනීමේදී වංචා දූෂණ රැසක් සිදුවෙනවා. ටෙන්ඩර් කැඳවන්නේ නැතිව ආණ්ඩුව විවිධ ව්‍යාපෘති සඳහා ගිවිසුම් ඇති කරගන්නවා. ආණ්ඩුවේ ඇමැතිවරු ලංකාවේ ඉන්ධන පිරිවුම්හල් විදෙස් රටවලට දිලා කොමිස් ගහලා තිබෙනවා.

2024 ඔක්තෝම්බර් මාසයට පෙර ජනාධිපතිවරයා තෝරාපත්කර ගත යුතුයි. පවතින ආණ්ඩුව විසුරුවා හැරලා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න මැතිවරණයක් පවත්වන්න ඒ පත්වන ජනාධිපතිවරයාට අයිතිය තිබෙනවා. ආණ්ඩුවේ බහුතරය මේ වනවිට අඩුවෙමින් තිබෙන්නේ. වැට් බද්දට පක්ෂව ඡන්දය දුන්නේ 120 යි. එතනින්

10 ක් හෝ 15 ක් ආණ්ඩුවෙන් ගියොත් ආණ්ඩුව පවත්වාගෙන යන්න වෙන්නේ නෑ. එහෙම වුණොත් ආණ්ඩුවට සිද්ද වෙයි මැතිවරණයක් තියන්න. ආණ්ඩු පක්ෂයේ තවත් කණ්ඩායමක් විපක්ෂයට එකතුවීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා :

රාජපක්ෂ ආණ්ඩුවෙන් සිදුකරපු ආර්ථික වැරදි දේශපාලනික වැරදිවල බර ජනතාවගේ කර මතට ජනවාරි පළමු වැනිදා සිට වැටෙන්න නියමිතයි. ආණ්ඩුව ඉදිරිපත් කළ අන්තිම අයවැය තමයි මේ අයවැය. ලබන වසරේ තිබෙන්නේ සමගි ජනබලවේගය ප්‍රමුඛ ආණ්ඩුවක්. ඒ අනුව ලබන වසරේදී ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කරන්න සමගි ජනබලවේගය ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරනවා.

වැට් බද්ද හරහා සියලු දේවල්වල වියදම ඉහළ යනවා. වැට් බද්දේ බර මාස දෙක තුනක් යනවිට ජනතාවට දැනෙන්න පටන් ගන්නවා.

ජනාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩ කරන්නේ රටේ ආර්ථිකය සහ ජනතාව නෙවෙයි. රාජපක්ෂවරු ඇතුළු රට විනාශ කළ හොරු රැල තමයි ජනාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩ කරන්න උත්සාහ කරන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment