අයර්ලන්ත ජාතිකයකුගෙන් පැය 150ක් දිගු ඩ්‍රම් වාදන වාර්තාවක්

91

හතළිස් පස් හැවිරිදි උතුරු අයර්ලන්ත ජාතික ඩ්‍රම් වාදකයකු පිළිකාවකින් මියගිය සිය සහකාරිය අනුස්මරණය කිරීම සඳහා පැය 150ක කාලයක් එකදිගට ඩ්‍රම් වාදනය කිරීමෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. උතුරු අයර්ලන්තයේ ලිස්බර්න් නගරයේ පදිංචි ඇලිස්ටර් බ්‍රවුන් නමැති ඩ්‍රම් වාදකයා මෙසේ නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවමින් බිඳ දමා ඇත්තේ ඔහු විසින්ම මෙයට පෙර පැය 134යි විනාඩි පහක කාලයක් ඩ්‍රම් වාදනය කිරීමෙන් තබා තිබූ වාර්තාවයි. 2021 වසරේ ජනවාරි මාසයේදී අගන්‍යාශ පිළිකාවක් වැළඳීමෙන් මියගිය සිය සහකාරිය වූ 49 හැවිරිදි ෂෙරොන් ඩිගන්ට උපහාර පිණිස නව ලෝක වාර්තාව බිහි කර ඇති ඇලිස්ටර් බ්‍රවුන් සිය ඩ්‍රම් වාදනය ඉකුත් සතියේ ඉරිදා (16දා) අරඹා ඇති අතර ඉකුත් සෙනසුරාදා (22දා) සවස අවසන් කර තිබේ.

මෙම දිගු ඩ්‍රම් වාදනය සිදු කරන අතරතුර සෑම පැයකට වරක්ම විනාඩි පහක කාලයක් විවේක ගැනීමට ගිනස් ලෝක වාර්තා සංවිධායකයන් විසින් බ්‍රවුන් හට අවස්ථාව ලබා දී තිබූ අතර ඔහු විසින් මෙම ලෝක වාර්තාව තැබීමට ගත කළ කාලය තුළදී නිදා ගැනීම සඳහා ගත කර තිබුණේ පැය දෙකක පමණ කාලයක් බව වාර්තා වී තිබේ. ලිස්බර්න් නගරයේ සංගීත මධ්‍යස්ථානයේ සිට සිදු කර ඇති මෙම දිගු ඩ්‍රම් වාදනය සජීවීව විකාශනය කර තිබූ අතර සිය සහකාරිය මරණයට පත් කළ අග්න්‍යාශ පිළිකාව මැඬලීම සඳහා වන සුබසාධන අරමුදල සඳහා අරමුදල් රැස් කිරීම මෙම ඩ්‍රම් වාදනයේ අරමුණ බව බ්‍රවුන් පවසා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment