ඉන්දියානු සාගර කලාපයේ පාරිසරික සහ ගුණාත්මක වටිනාකම් ආරක්ෂා කරමු

73

සමෘද්ධිය, සාමය සහ සාගර සංරක්ෂණය ගොඩනැංවීම සඳහා ඉන්දියානු සාගරයේ කාර්යභාරය පිළිබඳ උපදේශන සමුළුව

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් උත්සන්න වීමත් සමග රතු මුහුදේ ගමන් කරන නාවික යාත්‍රාවලට පහරදීමට යේමන කැරලිකාර හූතිවරුන් ක්‍රියාකිරීම නිසා මේ වන විට ලෝක නාවික ගමනාගමනය යම් අර්බුදයකට ලක්ව ඇති මොහොතකි මේ. දැනටමත් හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ ගමන් ගන්නා ලද ඊශ්‍රායලයට හිතවත් රටවල නාවික යාත්‍රා රැසකට රොකට් ප්‍රහාර එල්ල කරනු ලැබීම ලෝකය කතාකරන මාතෘකාවයි. මෙනිසා එහි නියත ප්‍රතිඵලය ලෙස හූතිවරුන්ට එරෙහිව ප්‍රහාර මාලාවක්ද මිත්‍ර පාක්ෂිකයන් විසින් ආරම්භ කර ඇත. කෙසේ හෝ මෙම සිද්ධියත් සමග ලෝක නාවික මාර්ග පැරණි තත්ත්වයට පැමිණ ඇත. එහි වාසිය ඉන්දියන් සාගරය ප්‍රමුඛ ශ්‍රී ලංකාවටද ලැබෙමින් පවතී. නමුත් ඒ ආර්ථික වාසියක් පමණි. විශාල ලෙස නාවික යාත්‍රා ගමන් කිරීම යනු එක අතකින් යම් නාවික මාර්ගයක්, මුහුදු ප්‍රදේශයක් ක්‍රමික දූෂණයට ලක්වීම හා එහි ප්‍රතිඵලය ලෙස සමුද්‍රය දූෂණය ඔස්සේ සාගර පරිසරය හානියට, හායනයට ලක්වීමයි. මෙම තත්ත්වය කොරල් පර ඇතුළු ලොකු කුඩා සාගරවාසී ජීවීන්ට ඉතා අහිතකර ලෙස බලපායි. එමගින් නැවත සාගර ආහාර නිෂ්පාදනයට බලපායි. එය ඍජු ආර්ථික, සමාජයීය හා පාරිසරික පරිහානියකි. එබැවින් සාගර කලාපය රැකගත යුතුවීම යුගයේ අවශ්‍යතාවකි. විශේෂයෙන්ම අපට අයත් ඉන්දියානු සාගර කලාපය අප රැකගත යුතුය. ඒ ඒ සඳහා මනා කළමනාකරණ සැලැස්මක් ක්‍රියාවට නගමිනි.

ඉන්දියානු සාගර කලාපයේ පාරිසරික සහ ගුණාත්මක වටිනාකම් ආරක්ෂා කරමු

ඉන්දියන් සාගරය යනු ලෝකයේ මුහුදු කලාප අතර සාමකාමීම මුහුදු කලාපයයි. මෙහි අනෙකුත් ප්‍රදේශවල මෙන් නොව, මුහුදු කොල්ලකරුවන් නැත, තර්ජන-ගර්ජන නැත. එසේම ඉතා ඉහළ සංස්කෘතියක විවිධත්වයක් කලාපය නියෝජනය කරයි. එබැවින් අපගේ කලාපය මනාව කළමනාකරණය කරගත යුතුව ඇති අතර, සුරක්ෂිත කරගත යුතුය.

එසේම ඉන්දියන් සාගරය විවිධ සම්පත්වලින් පොහොසත් වන බැවින් එය අද්විතීය වටිනාකමක් ලැබී ඇති සාගර කලාපයක් බවට පත්ව ඇති අතර එය ගෝලීය වෙළඳාමේ දී වඩාත්ම තරගකාරී සමුද්‍ර මාර්ග වලින් එකන් බවට පත්ව ඇත. මෙම තීරණාත්මක මුහුදු ගමන් මාර්ගය භාවිත කිරීම සඳහා දිනෙන් දින වැඩිවන ඉල්ලුම අනුව මුහුදු ගමනාගමනයේ අතිශය වැඩිවීම ගමනාගමනය අවහිර වීමට හේතුවක් වේ. එබැවින් ගෝලීය මුහුදු මාර්ග හරහා සිදුවන වෙළඳාම බාධාවකින් තොරව පවත්වා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගත යුතුය.

ඉන්දියානු සාගර කලාපයේ පාරිසරික සහ ගුණාත්මක වටිනාකම් ආරක්ෂා කරමු

මේ කරුණු අවධාරණය කරන ලද්දේ “ගෝලීය සමෘද්ධිය, සාමය සහ සාගර සංරක්ෂණය ගොඩනැංවීම සඳහා ඉන්දියානු සාගරයේ පූර්ණ කාර්යභාරය දැක්වීම සඳහා වූ සාමූහික උපදේශන සමුඵව” මැයෙන් ඉකුත්දා කොළඹදී පැවැත්වුණු සමුළුවේදීය.

IOSRC (ඉන්දියානු සාගර මූලෝපායික පර්යේෂණ මධ්‍යස්ථානය) මගින් WiLAT – Women in Logistics and Transport ආයතනයේ සහයෝගීතාවයෙන්, ඉන්දියානු සාගර සමුද්‍ර කලාපයේ, ක්‍රමානුකූලව විකාශනය වෙමින් පවතින අභියෝග සහ අවස්ථා ආමන්ත්‍රණය කිරීම සඳහා සාමූහික උපදේශන කථිකාවක් ලෙස මෙම සමුළුව පැවැත්විණි. සමුඵවේ දී සමුද්‍රිය තිරසාරභාවය, ආරක්ෂාව, සාගර සංරක්ෂණය සහ සමුද්‍රීය නීතිය යන ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කරන ලදී. අදාළ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා අන්තර්ක්ෂේත්‍ර පාර්ශ්වකරුවන්, ගෝලීය නායකයින්, විද්වතුන් සහ අදාළ ක්ෂේත්‍රයන් හි නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.

මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ ප්‍රධානී ආචාර්ය Fredrik Haag මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා සහ ප්‍රධාන කථිකයා ලෙස සහභාගි වූ අතර වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

සමුද්‍රීය නීතිය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩෑන් මාලික ගුණසේකර මහතා විසින් ගෝලීය සමුද්‍ර ගමන් මාර්ගයන්හි ජාත්‍යන්තර ගිවිසුම් සහ බැඳීම්, ත්‍රස්තවාදයේ හා මුහුදු කොල්ලකෑමේ නැගී එන අභියෝග පිළිබඳව වැදගත් දේශනයක් පවත්වන ලදී. කොළඹ වෙස්ට් ඉන්ටර්නැෂනල් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී හරික්‍රිෂ්නන් සුන්දරම්, ගෝලීය සමුද්‍ර වෙළඳාමේ සාමය සහ සෞභාග්‍යය පවත්වා ගැනීම සඳහා ඉන්දියාව ඉටු කරන උපායමාර්ගික කාර්යභාරය සහ සමුද්‍රීය කර්මාන්තයේ ඉන්දියාව විසින් සිදු කරන ලද වැදගත් ආයෝජනයන් පැහැදිලි කළ අතර නිල් ආර්ථිකය මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව ද ඔහු අවධානය යොමු කළේය.

ඉන්දියන් සාගර කලාපයේ මුහුණදෙන අභියෝග පිළිබඳව සාකච්ඡා කළ විද්වත් මණ්ඩලයට කැපිටල් මහරාජා සමූහයේ විධායක අධ්‍යක්ෂ Chevan Daniel” Maersk Lanka Pvt Ltd ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Biju Ravi මහත්වරුන් සහභාගි වූ අතර එමිරිටාස් ප්‍රොෆෙස් ධීවර හා සමුද්‍ර විද්‍යා හා තාක්ෂණ පීඨයේ ආරම්භක පීඨාධිපති මහාචාර්ය රුචිරා කුමාරතුංග විසින් වරාය, සාගර පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව, ශ්‍රී ලංකාවේ වැදගත් පිහිටීමේ විභවය සහ රතු මුහුදේ වර්ධනය වෙමින් පවතින වත්මන් ආරක්ෂක තර්ජන හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහනයේ පිරිවැය සහ රක්ෂණය ඉහළ යෑමේ අභියෝග පිළිබඳව පැහැදිලි කළේය.

සම්මන්ත්‍රණයේ සභාපතිනිය ලෙස භාණ්ඩ ප්‍රවාහන අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ව්‍යාපාර සංවර්ධන, සමුද්‍රීය, භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් අංශයේ සහකාර උප සභාපතිනි ධෂ්මා කරුණාරත්න මහත්මිය කටයුතු කරන ලදී.

● ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment