දරුවන් මානසික රෝගීන් කරන අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි – මහාචාර්ය ශාලුක කොඩිතුවක්කු

65

දරුවන්ව මානසික ලෙඩ්ඩු කරන මෙම අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි. මෙසේ ප්‍රකාශ කරන ලද්දේ මාර /ඌරුබොක්ක ජාතික පාසලේ පසුගියදා පැවැති ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට සහභාගිවූ එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ හිටපු පීඨාධිපති හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය ශාලුක කොඩිතුවක්කු මැතිතුමායි.

මම මෙම විද්‍යාලයේ 1969 සිට 1979 දක්වා මූලික අධ්‍යාපනය ලැබුවා. මට මෙතෙන්ට එන්නට දෙමාපියන්ගෙන් පසු සම්පූර්ණ සහාය මට ලැබුණේ මගේ ගුරුවරුන්ගෙනි. මගේ අම්මා තාත්තා හැරුණුවිට ඊළඟ මාපියවරු ලෙස මා සලකන්නේ මගේ ගුරුවරු.

පොතපතටම සීමාවීම තුළින් දරුවා බාහිර සමාජය තුළදී ප්‍රායෝගික වැඩවලදී අතරමං වෙනවා. මෙම තත්ත්වයට හේතුව ලෙස මා දකිනුයේ පවතින අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දයි. මෙම අධ්‍යාපන ක්‍රමයේ යන දරුවා අසහනකාරයෙක් වෙනවා. මානසික ආතතියට ගොදුරු වෙනවා. අන්තිමට දරුවා දිවිනසා ගන්නවා. පසුගිය කාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ළමයින් 4 ක් බෙල්ල වැළදාගෙන ආදී ක්‍රම මගින් සියදිවි නසා ගත්තා. හේතුව අවසාන වසර විභාග පරීක්‍ෂණයෙන් අසමත්වීම. දරුවා දිනුම මෙන්ම පරාජයත් භාරගන්න පුරුදු කරන්න ඕන.

දුවේ පුතේ අප මෙතැන්ට ආවේ ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන්. එහිදී අපේ අධ්‍යාපනයට වියදම දැරුවේ මේ රටේ ජනතාවගෙන් ලබාගත් බදු මුදල්. අපට ඉගෙන ගන්න අම්මා තාත්තා වියදම් කළා තමයි. නමුත් ඊට වඩා වැඩි මුදලක් වියදම් කළේ මෙරට බදු ගෙවන ජනතාව. ඉතින් අපට යුතුකමක් තියෙනවා ඒ අයට වැඩ කරන්න. අපි රස්සාවක් අරන් තැනකට ගියාට පස්සේ අපෙන් සේවයක් ලබාගන්න එන ජනතාව කරදරයක් ලෙස නොසිතා ඔවුන්ට අප උදව් කළ යුතු අය ලෙස සලකා සන්තෝෂයෙන් ඔවුන්ට සේවය ලබාදිය යුතුයි.
ඌරුබොක්ක – එච්. ආර්. ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment