346976 ක් අද සිට උ/පෙළ ලියති

52

පැය ½ කට කලින් එන්න
කොරියන් භාෂාවේ කාලසටහනේ වෙනසක්
ආපදා පළාත්වලටත් වෙනම මධ්‍යස්ථාන
විභාග කොමසාරිස් ජනරාල්

අපොස උසස් පෙළ (2023) විභාගය අද (04 දා) සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

විභාගය සඳහා අපේක්‍ෂකයන් තුන්ලක්‍ෂ හතළිස් හයදහස් නවසිය හැත්තෑ හයදෙනකු විභාග මධ්‍යස්ථාන 2298 කදී පමණ පෙනී සිටීමට නියමිතය. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319 ක් වේ.

කාලසටහනේ කොරියානු භාෂාව එකතු කිරීමට යෑමේදී සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බවත්, ඒ පිළිබඳ අයදුම්කරවන්ගේ අවධානය යොමුකරන ලෙස ද ජයසුන්දර මහතා ඉල්ලා සිටී. එම වෙනස් කිරීම ඇතැම් වෙබ් අඩවිවල වැරදි ආකාරයට දක්වා තිබෙන බවත්, ඒ නිසා එය නොසලකා විභාග දෙපාර්තමේන්තුව එවා ඇති ප්‍රවේශ පත්‍රයේ වෙන්කර ගන්නා කොටසක් පවතින බවත් එම කොටසේ ඔබ ඉල්ලුම් කළ විෂයයන්වලට අදාළ දිනය විෂය අංකය, මාධ්‍යය එම විෂයයන් පැවැත්වෙන වේලාවන් සඳහන් කර තිබෙන බවත් ඒ මහතා පවසයි.

මේ වනවිට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව, වැලිකන්ද, අරලගංවිල සහ දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසවල පදිංචි විභාග අපේක්‍ෂකයන් සඳහා එම ප්‍රදේශවලම විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බවත් එම මධ්‍යස්ථානවලදී විභාගයට පෙනී සිටීමට විභාග ප්‍රවේශ පත්‍රය වලංගු බවත් ඒ මහතා පවසයි.

විභාග අපේක්‍ෂකයන් විභාග මධ්‍යස්ථානයට යෑම සඳහා අවසාන මොහොත වනතෙක් නොසිටින ලෙසත් අවම වශයෙන් පැය භාගයකට පෙරවත් විභාග මධ්‍යස්ථානවලට යන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටී. තමන්ගේ මධ්‍යස්ථානයට යන්න බාධාවක් පවතීනම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ විභාග දෙපාර්තමේන්තුවේ ස්ථාපිත සම්බන්ධීකරණ කාර්යාලයේ 1911 අංකයට අමතන ලෙස ඒ මහතා ඉල්ලා සිටී.

විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ යම් ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එයට මුහුණදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර තිබෙන බවත්, අවශ්‍යතාවය අනුව එම ආයතන කටයුතු කරනු ඇති බවත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවැසීය.

විභාගය අදින් (04 දා) ආරම්භ වී ජනවාරි 31 දා දක්වා පැවැත්වේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment