කටුනායක කැරන්වත්තේ ලොංසිනාගේ කසිප්පු තිප්පොළට වලානෙන් පනී

86

කටුනායක කැරන්වත්ත ප්‍රදේශයේ මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවකු වන ‘ලොංසිනා’ නමැත්තාගේ කාමර 08 ක නිවසක පවත්වාගෙන ගිය ජාවාරම වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (12 දා) වටලා සැකකරුවන් දෙදෙනෙකු සමග මත්පැන් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරු වන ලොංසිනා නමැත්තාගේ උපන් දිනය පැවැති දිනයේම මෙම වැටලීම සිදුකර තිබේ. මෙම ස්ථානයේ මහා පරිමාණයෙන් කාලයක සිට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බවට වලාන දූෂණ මර්දන ඒකකට තොරතුරක් ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් සැරයන්වරුන් වන (34950) සම්පත් (75056) ඉන්දික යන බුද්ධි නිලධාරීන් යොදවා සිදුකළ විමර්ශනයකින් පසු තහවුරු කරගත් තොරතුරු මත වැටලීම සිදුකර ඇත.

ප්‍රධාන සැකකරු කැරන්වත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් පවත්වාගෙන යන අතර ඊට යාබද කාමර 8 කින් යුත් නිවසක මෙම ජාවාරම සිදුකර ඇත. නළ මාර්ගයෙන් මහා පරිමාණයෙන් නිපදවන නීති විරෝධී මත්පැන් එක්රැස් කිරීමට එහි එක් කාමරයක් යොදාගෙන ඇත.

සැකකරුවන් සමඟ නීති විරෝධී මත්පැන් මිලිලීටර් 1,50,000 ක් සහ ගෝඩා මිලිලීටර් 20,79,000 ක් අත්අඩංගුවට ගෙන ඇත. එම ස්ථානයේ කාමර නැවත මත්පැන් නිෂ්පාදනය කළ නොහැකි ලෙස විනාශ කර ඇත.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ උදය කුමාර මහතාගේ උපදෙස් මත එම ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක ජයවීර, පොලිස් කොස්තාපල්වරුන් වන (31305) රස්මික (80501) තිසර (104543) සේනාරත්න (105084) තක්ෂාන් (105059) ප්‍රසන්න (105577) රත්නායක යන නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment