මචන් පඬී… – උඹට සුබ ගමන්!

183

එකම බෝඩිමේ එකට කාලා බීලා එකට වැටී සිටිය කාලයක් ඔවුන්ගේ ජීවිතයේ තිබුණා. කාලයත් සමග ඒ ජීවිතයේ වෙනස්කම් සිදු වුණත් නොවෙනස් වුණ එකම දේ ඔවුන්ගේ මිත්‍රත්වය. අද ඒ කලණ මිතුදමේ ගුණ සුවඳ පමණක් ඉතිරිකොට ඔහු සදහටම නික්ම ගිහින්. තම මිතුරාගේ වියෝවෙන් නැගෙන සුසුම් අතරින් කමල් අද්දරආරච්චි අතීත මතකාවර්ජනයක යෙදුණා.

ඔබේ මිත්‍රයා, ජැක්සන් ඇන්තනීගේ වියෝවෙන් ඔබට දැනෙන හැඟීම කොහොමද ඔබ වචනවලට පෙරළන්නෙ?

ඒක මං මෙහෙම කියන්නම්. අපේ ශරීරයේ තියෙන අවයවයක් අපිට ඉවත් කරන්න වුණොත්, අපේ අත් දෙකේ ඇඟිලි දහය අතරින් එකක් අපිට ඉවත් කරන්න වුණොත් වේදනාවක් දැනෙන්න පුළුවන්. නමුත් ඊට වඩා ඒක අමතක කරන්න බැරි දෙයක් වෙනව. මොකද හැම තිස්සෙම පෙනෙනව, මතක් වෙනව, මේ නිසා අපිට ඒ අඩුව හොඳින්ම දැනෙනවා. අන්න ඒ වගේ තමයි අද අපිට ජැකාගේ නික්ම යෑම අපිට දැනෙන්නෙ. අපේ අනෙක් යාළුවො එක්ක එකතුවෙනකොට ජැකාව මතක්වෙන එකනම් නතරකරන්න පුළුවන් වෙන්නෙ නැහැ. ඒක අපේ මනසට ලොකු බලපෑමක් කරන මතකයක්. ඔහුගෙන් ලොකු ආලෝකයක් තිබුණ අපි හැමෝටම. මම යම් අවශ්‍යතාවකට කතා කරනකොට ජැකා දන්නව මොන වගේ දේකටද මම කතා කරන්නෙ කියල. මොකද මට යමක් දැනගන්න වුවමනා වුණාම මම ඔහුට කතා කරන විශේෂ ආමන්ත්‍රණයක් තියෙනව. එතනදි මම ඔහුට කතාකරන්නෙ ‘පඬී’ කියල. මචං පඬී කියල කතාකරල සමහර වචනවල නණ ලළ පවා අහනකොට ජැකා මගෙන් අහනව මොකක්ද බං සිංහල ඉගෙනගත්තෙ නැද්ද කියල. අවශ්‍ය වන වෙලාවට උපදේශයක් ගන්න, භාෂාමය, සාහිත්‍යමය, ව්‍යාකරණ වශයෙන් දෙයක් නිවැරදි කරගන්න මට කතාකරන්න මතක් වෙන පළමුවැනි මනුස්සයා. ඒ වගේම ඉතිහාසය ගැන ප්‍රශ්නයක් මතු වුණත්, වෙනත් දර්ශනයක් ගැටලුවක් කතා කළත් බුද්ධිමය සංවාදයක අපි හිටියෙ.

මචන් පඬී… - උඹට සුබ ගමන්!

මේ මිතුදම ඇරැඹුණ කාලයේ මතකය අවධි කළොත්?

අපි මුණගැහෙන්නෙ 1980 වර්ෂයේ. ඒ කියන්නෙ දැනව වසර 43කට පෙර. ඒ තරම් කාල වකවානුවක් ගියාද කියල අද අපිට දැනෙන්නෙත් නැහැ. මොකද එදා වගේම අදත් අපේ මිතුදම අලුත්. මේ ජැක්සන් ඇන්තනී, මේ කමල් අද්දරආරච්චි කියල විශේෂ ගරු නාම අපි අතර නැහැ. අපි අපිම විතරයි. කොටින්ම කිව්වොත් එක වල්ලෙ පොල් ටිකක් වගේ බැඳීමකින් අපි ගතකරපු කාලය මෙච්චර වයසක් ගිහිල්ලත් ඒ අපි පටන් ගත්ත බරසාර ජීවිතය තුළ මුණගැහුණ පුද්ගලයාම තමයි අදටත් මම දකින්නෙ. මොන සමාජ තලයක, මොන මට්ටමක හිටියත් අපි අතර වෙන කතාවක් තියෙනව එතනට ගැළපෙන්නෙ නැති. ඒ තමයි අපේ යහළුකම. ලෝකය ඉදිරියේ අපි වෙනස් වෙනස් චරිත බවට පත්වුණත්, බොහොම සැහැල්ලුවෙන් විනෝදයෙන් අපි එකිනෙකා අතර සම්බන්ධය පැවතුණා.

ඔබ දෙදෙනා එක්ව දායක වුණ නිර්මාණ ගැන මතකය අවදි කළොත්?

මගේ මව විසින් නිෂ්පාදනය කරන ජයන්ත චන්ද්‍රසිරිගේ ප්‍රථම ස්වතන්ත්‍ර වේදිකා නාට්‍ය තුළින් තමයි අපේ හමුව ගොඩනැඟෙන්නෙ. එතනදි ජැකා කලාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන කලාකරුවන් හතරදෙනකුගෙන් යුත් කණ්ඩායමේ එක් සාමාජිකයෙක්. මම කළේ ඒකෙ අනෙක් පැත්තෙ චරිතයක්. මේ වගේ සුන්දර මතකයන් එක්ක තමයි අපේ කාලය ගෙවුණේ.

ඉන් පස්සෙ ජයන්ත චන්ද්‍රසිරිගේ ප්‍රථම ටෙලිවිෂන් නිර්මාණය වන ‘වෙදහාමිනේ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ වගේම ජයන්තගේ පළමු සිනමා නිර්මාණය වන ‘අග්නිදාහය’ චිත්‍රපටයේ අපි දෙන්නම එකට රඟපෑවෙ. වරෙක ජැකාට හොඳම නළුවා සම්මානය ලැබෙනකොට තවත් වරෙක මට හොඳම නළුවා සම්මානය ලැබෙනව. ඒ වගේ අපි එකිනෙකා කළ නිර්මාණ තුළ ඒ ජයග්‍රහණයන් භුක්ති විඳගත්තා. ඊට අමතරව ජැක්සන්ගෙ ප්‍රථම ටෙලි නාට්‍යයේ ප්‍රධාන භූමිකාව මට දුන්නා. ඒ වගේම ඔහුගේ

ප්‍රථම චිත්‍රපටයේත් ප්‍රධාන භූමිකාව ඔහු මට දුන්නා. මේ වගේ අපේ ගමනෙදි අපි අන්‍යොන්‍ය වශයෙන් අපේ ජීවිතවලට තියෙන ආලෝකය ලබා ගත්තෙ අපි අපි අතරෙන්මයි. ජැක්සන් අමතක කළේ නැහැ තමන් අතර ඉන්න නළුවන්ගෙන් ප්‍රයෝජනය ගන්න. ඔහුගේ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයෙත් ප්‍රධාන භූමිකාවක් මට දුන්නා. ඒකට මට සම්මානයකුත් හිමි වුණා.

ඒ වගේම මගේ ජීවිතයේ අසහනකාරී, ගැටලුකාරී අවස්ථාවන්වලදී මගේ හෙවණැල්ලක් වගේ ඔහු මගේ ළඟින්ම ඉඳල තියෙනවා. මම හිතනවා එවැනි යාළුවො තමයි කළ්‍යාණ මිත්‍රයො කියන්නෙ. ඒ කළ්‍යාණ මිත්‍රත්වය මගෙනුත් ඔහුට ලැබුණා. පඬී කියල මම ඔහුට කතාකරනකොටම ආ මචා කියල ඔහු මට කතාකරනව. අපි අතර කිසිම දිනෙක මතගැටුමක් සිදු වෙලා නැහැ වගේම කිසිම දිනෙක විරසකයක් වෙලා නැහැ. ඒ වගේ එකඟත්වයෙන්, සහෝදරත්වයෙන් වගේම එකිනෙකාට භක්ත්‍යාදරයෙන්, එකිනෙකා ගැන ආඩම්බරයෙන් අපි අපේ ජීවිත ගත කළේ.

මගේ මිත්‍රයාගේ මේ අකල් වියෝව නිසා ඇතිවූ කම්පනය මගේ අතේ ඇඟිලි දහයෙන් එකක් අඩුවුණා සේ මගේ ජීවිතයට දැනෙන හිඩැස කවදාවත් පිරිවිය නොහැකි අඩුවක් වේවි.

පඬී… උඹට සුබ ගමන් !

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment