ජැක්සන්… – අතිශය දුර්ලභ ප්‍රතිභාවක් සහිත නළුවෙක් – ජයන්ත චන්ද්‍රසිරි

187

ජැක්සන් ගැන වචනයක් ලියනවා නම් ජයන්ත චන්ද්‍රසිරි එක්ක කතා කරන්නම වෙනවා. මොකද මේ දෙපළ ඒ තරමටම බද්ධයි. හරියට ගහට පොත්ත වගෙයි. අනික එදා ඉඳන් එක බෝඩිමේ එකට ජීවත්වෙලා එක බත්එක බෙදාගෙන කාලා තමයි මේ දෙපළ මේ ගමන එන්නේ. අද ඔහු මේ මිතුරන් සියලු දෙනාම හැරදමා ගිහින්. ඉතිං මේ වෙලාවේ ජයන්ත චන්ද්‍රසිරි නමැති අධ්‍යක්ෂවරයාගෙන් ජැක්සන් ඇන්තනී ගැන යමක් නොවිමසුවොත් ඒකෙ ලොකු අඩුවක් අපිට පෙනෙනවා. ඒ හින්දාම අපි ජයන්ත චන්ද්‍රසිරි නමැති ප්‍රවීණ අධ්‍යක්ෂවරයාට කතා කළා.

ජැක්සන්… - අතිශය දුර්ලභ ප්‍රතිභාවක් සහිත නළුවෙක් - ජයන්ත චන්ද්‍රසිරි

ජැක්සන් ඇන්තනි කලාකරුවා සහ ජයන්ත චන්ද්‍රසිරි කලාකරුවා අතර බොහෝ කිට්ටු සම්බන්ධතාවක් තිබෙනවා මේ සම්බන්ධතාවයේ ඉතිහාසය මොකක්ද?

අපි කවුරුත් දන්නවා 70 දශකය කියලා කියන්නේ අපේ වේදිකා නාට්‍ය කලාවේ ප්‍රධාන ධාරාවේ කිසියම් ස්වර්ණමය යුගයක්. මේ ප්‍රධාන ධාරාවට විකල්ප වශයෙන් ප්‍රබල කෙටි නාට්‍ය ධාරාවකුත් රටේ බිහි වෙමින් තිබුණා. හරියට ඇමරිකාවේ ‘broadway’ ධාරාවට විකල්ප වශයෙන් ‘off broadway’ හරි ‘off – off broadway’ හරි බිහිවුණා වගේ. අපි විතරක් නෙවෙයි ලංකාවේ හුඟාක් පළාත්වල කෙටි නාට්‍යකරණයේ යෙදෙන තරුණ නාට්‍ය කණ්ඩායම් ගණනාවක් ඒ කාලයේ තිබුණා. මේ නාට්‍ය කණ්ඩායම්වලට මුවහත් වෙන්න උදව් කරන කෙටි නාට්‍ය තරග තිබුණා. මා අදටත් ජීවත්වන රාගම ප්‍රදේශයේ මෙබඳු ඉතාම ප්‍රබල කෙටි නාට්‍ය කණ්ඩායම් දෙකක් තිබුණා. එකක් ජැක්සන් ඇන්තනි නම් ගැටවරයකු ප්‍රධාන කොටගත් උපතිස්ස බාලසූරිය, අයිවන් ඇන්තනි, කුමාරි මුණසිංහ, සේනක ටයිටස් ආදීන් බලමුළුගැන්වුණු පොඩි වී කුඹුර කණ්ඩායම. අනෙක් කණ්ඩායම තමයි අජිත් මෙන්ඩිස් නම් ගැටවරයකු ප්‍රධාන කොටගත් මා ද ඇතුළත් ශ්‍රියන්ත මෙන්ඩිස්, සේනක පෙරේරා, ලක්ෂ්මන් සිල්වා, රාජා කන්නන්ගර ආදීන් අයත් රම්පිටිය කණ්ඩායම. මේ කණ්ඩායම් දෙක අතර හැමවිටම තරගයක් තිබුණා. ඇතැම් කෙටි නාට්‍ය තරගයක එක්කෝ හොඳම නිෂ්පාදනය දිනන්නෙ ඔවුන්. නැත්නම් අපි. කොහොම වුණත් සම්මානය ගෙනෙන්නේ රාගමට.

මගේ මතකය නිවැරදි නම් 1979 දී පැවැත්වෙන ගම්පහ දිස්ත්‍රික් කෙටි නාට්‍ය උළෙලේදී අවසාන වටයේ අවසාන තරගය දා අප දෙගොල්ලොම මුහුණ දුන් ප්‍රශ්නයක් තිබුණා. අපේ අංග රචකයා ෂෝ එකට ඇවිත් නෑ. ජැක්සන්ලාගේ ‘ලෝදිය’ නාට්‍යයේ බෙර වාදකයා ඇවිත් නෑ. අජිත්ගේ ‘දේශ සීමා’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවේ මම. එදා ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ ජැක්සන් තරුණයා තමයි මගේ වේශ නිරූපණය කළේ. අපේ බෙරයත් බෙරවාදකයාත් තමයි ඔවුන්ගේ අඩුව සපිරුවේ. නාට්‍ය තරගයේ ප්‍රතිඵල වශයෙන් හොඳම නිෂ්පාදනය සම්මානය ඔවුනට ලැබුණා. ජැක්සන් හොඳම නළුවා වශයෙන් සම්මාන ලැබූ අතර මට හොඳම සහය නළුවා සම්මානය ලැබුණා. එදායින් පසු හැමදාමත් අප කටයුතු කළේ එකම කණ්ඩායමක් විදියට අද ඔහු අපෙන් සමුගෙන යන තුරුම මේ සම්බන්ධතාව නොසැලී නොබිඳී තිබුණා.

ජැක්සන්… - අතිශය දුර්ලභ ප්‍රතිභාවක් සහිත නළුවෙක් - ජයන්ත චන්ද්‍රසිරි

අපට නිරීක්ෂණය වන කරුණක් තමයි හොඳ මිතුරන් දෙදෙනකු වගේම හොඳ බුද්ධි මණ්ඩල දෙකක එකතුවකුත් මෙතන තිබුණා කියලා.

ඔබ කියන එකේ යම් ඇත්තක් තියෙන්න පුළුවන්. ඒකට හේතුව ඥාන ගවේෂණයේ යෙදීමට අප දෙදෙනාටම තිබුණු නොනිත් ආශාව කියලයි මට හිතෙන්නේ. ඉතිහාසය ජනශ්‍රැතිය, ධර්මය, නාට්‍ය කලාව, ටෙලිවිෂනය, සිනමාව, රූපණය වගේ ගැඹුරු විෂයයන් පිළිබඳව වගේම මේ ලෝකය යනු කුමක්ද යන අතිශය ගැඹුරු විෂයය පිළිබඳවත් අප අතර නොනිමි සංවාදයක් තිබුණා. ‘මේ විශ්වයේ කිසිවක් සිදුවී අවසන් නැත. සියල්ල සිදුවෙමින් පවතින්නේ ය’ යන පැරණි ග්‍රීක දාර්ශනිකයන්ගේ අදහස ඔහු හැම විටම කිව්වා. ‘මේ සංසාර සාගරයෙහි පටන් ගැන්මක් නැත. එහි මුල් කෙළවරක් නැත’ යන බුදු වදන මා ඉදිරිපත් කරන විට ඔහු කීවේ අප දෙදෙනා හරියට මාර්ග දෙකකින් එකම තැනකට ගමන් කරමින් සිටින බවයි.

ඔහුව මෙහෙයවූ ප්‍රධාන පෙළේ අධ්‍යක්ෂවරයකු වශයෙන් ඔහුගේ නළු භූමිකාව ගැන ඔබ කියන්නේ මොකක්ද?

ඔහු මට හමුවූ අතිශය දුර්ලභ ප්‍රතිභාවක් සහිත නළුවන් අතරින් කෙනෙක්. මා වේදිකා නාට්‍යයේත්, ටෙලිවිෂනයේත්, චිත්‍රපටයේත් ඔහු මෙහෙයවා තිබෙනවා. ඇලන් බේට්ස් කියන විශිෂ්ට බි්‍රතාන්‍ය නළුවා වරක් කිව්වා ‘Thoughts do register on camera’ (සිතිවිලි නිසැකවම කැමරාවේ සටහන් වෙයි.) කියලා. ඒ කියන්නේ නළුවාගේ වේදයිතයන් ඒ ආකාරයෙන් ම ප්‍රේක්ෂක මනසේ ද ඇති කළ හැකිය කියන එකයි. ජැක්සන් මේ හැකියාවෙන් අතිශය පරිපූර්ණ නළුවෙක්. ඊට ඔහුගේ බුද්ධිමත්කමක්, චිත්තවේගික පරිණතියත්, සමාජයීය පරිණතියත් විශාල පිටිවහලක් කියා මා සිතනවා. ඒ තරම් තමන්ගේ ආඛ්‍යාන ප්‍රයෝග (narrative device) විවිධ ලෙස භාවිතා කළ වෙනත් කිසිදු නළුවකු ඇතැයි මා සිතන්නේ නෑ. ඒ නිසා මා සිතනවා ඔහු මේ රටේ පමණක් නොව දකුණු ආසියාවේම සිටින විශිෂ්ටතම නළුවන් අතරින් කෙනකු කියා.

දිනේෂ් විතාන

ජැක්සන්… - අතිශය දුර්ලභ ප්‍රතිභාවක් සහිත නළුවෙක් - ජයන්ත චන්ද්‍රසිරි
ජැක්සන්… - අතිශය දුර්ලභ ප්‍රතිභාවක් සහිත නළුවෙක් - ජයන්ත චන්ද්‍රසිරි
advertistmentadvertistment
advertistmentadvertistment