විනයෝ නාම සාසනුස්ස ආයු

361

“විනය” යන වචනයෙන් බොහෝ අර්ථ ගෙනදෙයි. ඒවා අතර හික්මීම, හැදියාව, ආචාරශීලී බව, සංවර බව ආදියයි. මෙකී ගුණාංග ගිහි පැවිදි හැම දෙනාටම අතිශයින්ම වැදගත් වනු ඇත. මෙකී විනය පිරිහීම තුළ සමාජය කොතරම් දුරට විනාශය කරා යොමුවී තිබෙන්නේද යන්න නූතනයෙහි සිදුවන බොහෝ සිදුවීම් තුළින් මනාව සනාථ වේ. ඒ නිසාම වත්මන් සමාජයට විනය හෙවත් හික්මීම බෙහෙවින් වැදගත් කාලසමයක් බවත් එය නොමැති කල සිදුවන්නේ තවදුරටත් සමාජය පිරිහීම පමණි.

“විනයෝ නාම සාසනස්ස ආයු” යන දේශනා පාඨයට අනුව විනය ශාසනයේ ආයුධ බව දක්වා ඇත. වසර 20 ක් පමණ කාලයක් තම ශ්‍රාවකයන් බුදුහිමියන් විසින් හික්මවනු ලැබුවේ ඕවාද පාතිමෝක්‍ෂය හෙවත් අවවාදය තුළිනි. එහෙත් ශාසනයෙහි ඇතිවූ බොහෝ ගැටලු හමුවේ විනය පැනවීම සිදුකළ තථාගතයන් වහන්සේ හැමවිටම හික්මීම හෙවත් ආචාරශීලි බව අගය කළ බව සමස්ත විනය පිටකය පුරාම ඉතා මැනවින් දක්වා ඇත. ඒ නිසාම බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පළමු ධර්ම සංගීතියේදී සියල්ලටම පෙර සංගායනාවට පාත්‍ර වූයේ විනයයි. ඒ තුළින් විනයේ ඇති වැදගත් බව ඉතා කදිමට පැහැදිලි වනු ඇත. අටුවාචාරී බුද්ධඝෝෂ තෙරුන් මෙසේ සඳහන් කොට ඇත්තේ විනය විවිධ අදහස් මූලික කරගෙන දේශනා කරන ලද්දක් බව අර්ථ කතනය කිරීමෙනි.

“විවිධ විසේස හයන්තා
විනයනතෝ චේව කායවාචානං
විනයත්‍ථ විදූහි අයං
විනයො විනයෝති අඛ්‍යාතො”

විශේෂයෙන් “ආසවට්ඨානීය” ධර්ම තුළින් එය තවදුරටත් විග්‍රහ කොට ඇත්තේ මෙසේය.

  1. රත්තන්‍යු මහන්තතා – කල්ගත වීම
  2. ලාභග්ග මහන්තතා – ලාභ සත්කාර වැඩිවීම
  3. වේපුල්ල මහන්තතා – පිරිස වැඩි වීම
  4. බාහු සච්ච මහන්තතා – උගතුන් වැඩිවීම

මෙකී කරුණු වලට අමතරව අටුවාචාරී බුද්ධඝෝෂ තෙරුන් විනය පැනවීමේ අරමුණු කරුණු 10ක් යටතේ මෙසේ දක්වා ඇත.

  1. සංඝ සුට්ඨුතාය – සංඝයාගේ මනා පැවැත්ම පිණිස
  2. සංඝ පාසුතාය – සංඝයාගේ පහසුව පිණිස
  3. දුම්මංකුනං පුග්ගලානං නිග්ගහාය – දුර්ගුණ ඇති පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිස
  4. පේසලානං භික්‍ඛුනං ඵාසු විහාරාය – ප්‍රියශීලි භික්‍ෂූන්ගේ සුඛ විහරණ පිණිස
  5. දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරාය – මෙලොව කෙළෙස් දුරු කිරීම පිණිස
  6. සම්පරායිකානං ආසවානං පටිඝාතාය – පරලොවට පැමිණිය හැකි දුක් දුරු කිරීම පිණිස
  7. අප්පසනංවා පසාදාය – නොපැහැදුනන්ගේ පැහැදීම පිණිස
  8. පසන්තංවා භීයෝ භාවාය – පැහැදුනන්ගේ වඩා පැහැදීම පිණිස
  9. විනයානුග්ගහාය – හික්මීමට අනුග්‍රහය පිණිස
  10. සද්ධම්මඨිතිය – සද්ධර්මයෙහි පැවැත්ම පිණිස

මෙකී කරුණු මගින් පැහැදිලි වන්නේ විනය හෙවත් ආචාරශීලී බව කොතරම් දුරට වැදගත්ද යන්නයි. එය මුළුමහත් ශාසනයෙහිම ආයුෂ බව දක්වන්නේ අන් කිසිවක් නිසා නොව විනය සැබැවින්ම ශාසනයේ කොදුනාරටියයි. එය සිඳුනු කල්හි විනාශය කරාම ගමන් කරන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

බුදුදහමෙහි සියල්ලටම වඩා ඉහළින් විනය තබා ඇත්තේද මෙකී සාධක මුල්කොට ගෙනය. විනය පිරිහීම තුළ සමාජය කොතරම් දුරට පිරිහී ඇත්තේද යන්න හොඳම සාධකය වන්නේ නූතනයෙහි සිදුවන විවිධ සිදුවීම් හා පුද්ගල පරිහානියයි. එය ගිහි පැවිදි දෙපක්‍ෂයටම පොදු වූවකි. ප්‍රධාන වශයෙන් ශාසනය රැකගැනීමෙහිලා භික්‍ෂු සමාජය තුළ විනය අතිශයින්ම වැදගත් සාධකයකි. එය පිරිහීම තුළ ලෝකයට බුදුදහමේ පණිවුඩය කෙසේවත් සාර්ථකව ලබාදිය නොහැකිය. මේ නිසා නූතන සමාජයේ සියලු දෙනාටම විනය බෙහෙවින්ම අවශ්‍ය වූවකි. එය නොමැති කල සිදුවන්නේ පුද්ගල පරිහානියයි. එකී පුද්ගල පරිහානිය පිළිබදව පුන පුනා කිව යුතු වන්නේද නැත. මුළුමහත් ශාසනයෙහිම කොඳුනාරටිය ලෙස සැලකෙන විනය ආරක්‍ෂා වීම තුළ තවදුරටත් ශාසනය රැකෙන බව බුද්ධ දේශනාව තුළම ඉතා පැහැදිළිව දක්වා ඇත. මේ නිසා විනය මුළුමහත් සමාජයටම යහපත ගෙන දෙන්නක් වන්නේ එය අනුගමනය කොට ක්‍රියාකිරීම තුළිනි. ඒ තුළින් බොහෝ ප්‍රතිඵල සියලු දෙනාටම උදාකර ගැනීමේ මහත් භාග්‍ය උදාවනු නියතය.

ගාල්ල ශ්‍රී ලංකා ධර්මදූත
මහ පිරිවෙණේ ආචාර්ය දර්ශනපති
කනංකේ විජිත නන්ද හිමි
සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment