දෙමාපියන්ට වාසනාව හා සතුට ලබාදෙන දරුවකු බිහිවීම

143

සමාජය තුළ තරුණයෙක් සහ තරුණියක් විවාහ ජීවිතයට පා තැබීමෙන් පසුව අනාගතයේ තමන්හට අම්මේ! තාත්තේ! යන ලයාන්විත ආමන්ත්‍රණයෙන් සතුටත් වාසනාවත් පිරී ඉතිරී යෑමට දරුවකු බිහිවීම අවශ්‍යමය. එනිසා විවාහ දිවියට පත් නව යුවළකගේ සතුට ලබාදෙන පළමු වාසනාව වන්නේ එයයි. එපමණක් නොව දෙමාපියන් වශයෙන් මවටත් පියාටත් දුවේ! පුතේ! යනුවෙන් හදබැඳි ආදරයෙන් ඇමතීමට දරුවකු සිටිය යුතුමය. එසේ නොවුවහොත් විවාහයද පුස්සක්ම වන්නේය.

ඊළඟට වර්තමාන සමාජය දෙස මේ ගැන විමසිල්ලෙන් බලමු. විශේෂයෙන් අද වනවිට කේන්ද්‍ර බලා හෝ නොබලා විවාහ දිවියට පත්වී සිටින නව පරපුරෙහි ස්ත්‍රීන් හා පුරුෂයින් බොහෝ දෙනෙක් දරුපල නොමැතිව දුක්මුසු මුහුණින් ලත වෙන අය සිටීමද පෙන්වාදිය යුතුය. ඒ අතරතුර තමන්ගේ කැමැත්ත පරිදි උවමනාවෙන්ම දරුපල ප්‍රමාද කරගන්නා තරුණ තරුණියෝද මේ අතර සිටිති. තමන්ගේ හැඩරුව වෙනස්වීම සම්බන්ධව මානසිකව බලපාන ගැටලු නිසා මේ තත්ත්වයට සමහර ස්ත්‍රීන් පෙළඹේ. කෙසේ නමුත් දරුපල වාසනාව කැමැත්තෙන්ම ප්‍රමාද කිරීම නම් එතරම් සුබදායක නොවේ. විවාහ දිවියට පා තබන සමහර නව යුවතියන් තමන්ගේ රූප සෝභාව වෙනස් වෙනවාට අකමැති වීම හේතු කොටගෙන මැණිකක් හා සමාන දරුපල හට ගැනීමට බාධා කිරීම අනාගත වාසනාවකටද බාධා කිරීමකි. මේ සම්බන්ධව ජ්‍යොතිෂමය විග්‍රහයක මෙතැන් සිට යෙදෙමි.

කේන්ද්‍රයක දරුපල ගැන බැලීමේදී පස්වැන්න ප්‍රධාන වේ. පස්වැන්න අධිපතියා පස්වැන්නේම උපතින් යෙදීම, එම අධිපතියා පුර සඳු, බුධ, ගුරු, සිකුරු යන සුබ ග්‍රහයෙකු වීම, නවාංශකයේද එම ග්‍රහයා බලවත් වීම, පස්වැන්න අධිපති ගුරු හෝ සිකුරු නම් උපතින් නව වැන්නේ යෙදීම, සිකුරු ලග්නයේ බලවත් වීම පස්වැන්න අධිපති වශයෙන්. කෙසේ නමුත් ස්ත්‍රී – පුරුෂ පොරොන්දම් අතර වෘක්ෂ පොරොන්දමේ ස්ත්‍රී හට කිරි වෘක්ෂ වීමත් පුරුෂයා හට හර වෘක්ෂ වීමත් සමඟ පස්වැන්න සෞම්‍ය ග්‍රහයෙකුට හිමිවී පහ, නවය ලග්නය යන භාවයක ග්‍රහයා උපතින් යෙදී සිටීම වාසනාවන්ත දරුවන් බිහිවීමට හේතු වේ. ගුරු පුත්‍ර කාරක ග්‍රහයා වන නමුත් සමහර ලග්නවලදී දරුපල නැති වීමටද හේතු වේ. විශේෂයෙන් වෘෂභ ලග්නයේ ප්‍රථම දෙර්කාණයෙන් උපත ලැබූ ස්ත්‍රී කේන්ද්‍රයක ගුරු පස්වැන්නා වූ කන්‍යා රාශියේ උපතින් යෙදී සිටී නම් දරුපල අහිමි වේ. දරුපල යෙදී බිහිවීමේදී විනාශ වේ. ගුරු 22 වන දෙර්කාණ අධිපතියා වීමත් අට වැන්න අධිපති වීමත් මෙයට හේතු වේ. සිංහ ලග්නයේ දෙවෙනි දෙර්කාණයෙන් එනම් ධනු දෙර්කාණයෙන් උපත ලබා ඇති ස්ත්‍රී කේන්ද්‍රයක පස් වැන්නේ අව සඳු උපතින් සිටී නම් දරුපලවලට අසුබ වේ. විශේෂයෙන් ස්ත්‍රී දරු උපත්වලට මාරක යෙදේ.

මේෂ ලග්නය වී පස්වැන්නේ සිංහ රාශියේ සෙනසුරු සමඟ රාහු උපතින් යෙදීම ස්ත්‍රීන්ගේ දරුපල නැතිවීමට හේතු වේ. මිථුන ලග්නයේ පස්වැන්නේ ගුරු සමඟ කේතු උපතින් පිහිටා ඇති නම් එම ස්ත්‍රින් හට දරුපල හීන වේ. කටක ලග්නය වී පස්වැන්නේ සෙනසුරු සමඟ රාහු උපතින් යෙදීම නිසාද දරුපල වාසනාව නැති වේ. මෙවැනි ස්ත්‍රීන් හට ගර්භාෂ අමාරුද ඇති වේ. කන්‍යා ලග්නය හිමි ස්ත්‍රියකගේ උපත කන්‍යා දෙර්කාණයට හිමිව කුජ ලග්නගතව ගුරු පස්වැන්නේ යෙදීම වාසනාව ගෙන දෙන දරුවාට මෙන්ම මවටද දරු උපතකදී මාරක ගෙන දෙයි. නැතිනම් ලැබෙන දරුවා අංග විකල වූවෙකි. තුලා ලග්නයෙන් උපත ලැබූ ස්ත්‍රියකගේ පස්වැන්නේ රවි, කුජ උපතින් සිටී නම් දරු උපත්වලට හානි සිදු වේ. වෘශ්චික ලග්නයේ ප්‍රථම දෙර්කාණයෙන් උපත ලබා 22 වන දෙර්කාණය අධිපති බුධ පස් වැන්නේ යෙදී සිටී නම් එම ස්ත්‍රීට දරුපල හානි වන අතර ලැබෙන දරුවා අංගවිකල විය හැක.

ධනු ලග්නයේ පළමු දෙර්කාණයෙන් උපත ලැබූ ස්ත්‍රියකගේ අව සඳු සමඟ සෙනසුරු උපතින් පස් වැන්නේ යෙදී සිටී නම් දරුපල විනාශ වන අතර දරුවෙක් ලැබුණොත් දෙමාපියන්ට අවාසනාව ගෙන දෙන දරුවෙකි. එම දරුවාගේ ශරීරාංග විකෘති වී තිබිය යුතුය. මකර ලග්නයේ තුන්වන දෙර්කාණය කන්‍යා දෙර්කාණයෙන් උපත ලබා කුජ ගුරු පස්වැන්නේ සිටී නම් දරුපල වාසනාවෙන් සතුටක් ලැබීමට භාග්‍යය උදා නොවේ. කුම්භ ලග්නයේ මිථුන දෙර්කාණයෙන් උපත ලබා බුධ සෙනසුරු සමඟ හත්වැන්නේ යෙදී සිටින ස්ත්‍රියට ගර්භාශ දෝෂයකින් දරුපල අහිමි වේ. මීන ලග්නයේ පස්වැන්න අධිපති චන්ද්‍රයා සෙනසුරු සමඟ එකළොස්වැන්නේ උපතින් යෙදී රාහු පස්වැන්නේ සිටී නම් එම ස්ත්‍රී හටද ගර්භාෂ රෝග මත දරුපල වාසනාව නැති වීමෙන් අසතුට මැද අසහනයට පත් වේ. මා මේ දක්වා ඔබට පෙන්වා දුන්නේ විවාහ දිවියට පත්වන යෞවනියන්ගේ දරුපල නැති කරන ජීවිතය අඳුරු කරන උපතින් යෙදෙන ග්‍රහ තත්ත්වයන් සම්බන්ධවයි. කෙසේ නමුත් මෙවැනි තත්ත්වයන් ස්ත්‍රී – පුරුෂ දෙදෙනකුට බල පවතින්නේ පෙර භවයක ගැබ් ගත් එළුවන්, ගවයින් ස්ත්‍රී සතුන් මරා කෑමේ පාප කර්මයේ විපාක වශයෙනි. එපමණක් නොව ගැබ් ගත් බැල්ලියන් හා පූසියන් හට තලා පෙලා හිංසා කිරීම, එම පැටවුන් පාළු ස්ථානවලට ගෙනැවිත් අතරමං කිරීම මෙම පාපකර්ම අනාගතයේ වාසනාවන්ත දරුවන් බලාපොරොත්තුවෙන් සිටිනවා නම් කරන්න එපා. දිට්ඨධම්මවේදනීය කර්ම වශයෙන් මොලොවදීම පල දෙනවා. දරුපල විනාශ කරන කුජ රාහු සතුරු වී පස්වැන්නේ උපතින් යෙදී සිටින ස්ත්‍රීන්ට සිදුවන්නේ මේ තත්ත්වයයි. දරුපල වාසනාවක් ඔන්න මෙන්න කියා තිබියදී ගැබ්ගෙන සිටින භාර්යාවක් නම් තම ස්වාමිපුරුෂයාට ගෙදර සිටින පූසි පැටව් හෝ බලු පැටව් කොහේට හෝ ගෙනිහින් දමන ලෙස උපදෙස් දෙන්න නම් එපා. කළ යුතු වන්නේ එවැනි ස්ත්‍රී සතුන්ට හැකි තරම් උපස්ථාන කරමින් කන්න බොන්න දෙමින් සැලකීමයි. ගැබ් ගෙන සිටින බැල්ලියන්ට, බැළලියන්ට, එළදෙනුන්ට කෑමෙන් බීමෙන් සංග්‍රහ කර සත්කාර කිරීමෙන් වාසනාවන්ත දරු උපත් ලැබීම ඒකාන්තයි. දරුපල නැතිව දුකෙන් ගත කරන ස්ත්‍රීන් කළු කුමාරයාට පූජාවන් දෙනවාට වඩා මෙවැනි පිළිවෙත්වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා.

කෙසේ නමුත් විවාහ දිවියට පත්වන ස්ත්‍රී – පුරුෂ දෙදෙනාගේම කේන්ද්‍ර දෙකේ උප්පත්ති ග්‍රහ බලපෑම පස්වැන්න මුල් කර සුබදායකව යෙදී තිබේ නම් අනිවාර්යයෙන් එම යුවළට සතුට ලබාදෙන වාසනාවන්ත දරුවන් බිහිවන බව කිව යුතුය. පුරුෂ කේන්ද්‍රයේ නව වැන්න අධිපති සෞම්‍ය ග්‍රහයෙකු වී එම ග්‍රහයා උපතින් පස්වැන්නේ මිත්‍ර බලයෙන් යුතුවද පස්වැන්න අධිපති සෞම්‍ය ග්‍රහයෙකු වී නව වැන්නේ මිත්‍ර බලයෙන් යුතුවද රාශි මාරු කරගෙන ග්‍රහ දෙපල මිත්‍ර සුබ දෘෂ්ඨියෙන් යුතුව සිටී නම් එම ස්ත්‍රී – පුරුෂ යුවළට සතුට ගෙන දෙන වාසනාවන්ත දරුවකු ලැබීමේ භාග්‍යය උදාවේ.

මේෂ ලග්නයේ පස්වැන්න හිමි රවි නව වැන්නේ ගුරු සමඟ සංයෝග වී නව වැන්නේම උපතින් යෙදී සිටී නම් එම ස්ත්‍රියට විවාහයෙන් පසුව ප්‍රියජනක පුණ්‍යවන්ත පිරිමි දරුවකු ප්‍රසූත කිරීමේ වාසනාව උදාවේ.

වෘෂභ ලග්නයේ සිකුරුද පස්වැන්නේ බුධද උපතින් යෙදී සිටින ස්ත්‍රීන්ට වාසනාවන්ත දුවක් බිහි කිරීමේ වාසනාව උදාවේ. මිථුන ලග්නය හිමි ස්ත්‍රියකගේ පස්වැන්නේ බුධ සිකුරු උපතින් යෙදී සිටී නම් විවාහයෙන් පසු වාසනාවන්ත ගැහැනු දරු උපතක් බිහි වේ. කටක ලග්නයේ නව වැන්න හිමි ගුරු පස් වැන්නේ කුජ සමඟ සංයෝගීව උපතින් යෙදී සිටී නම් එම ස්ත්‍රීට විවාහයෙන් පසුව පිරිමි දරුවන් උපදී. සිංහ ලග්නයේ ලග්නාධිපති රවි සමඟ ගුරු සංයෝගීව පස් වැන්නේ උපතින් යෙදී සිටී නම් අනාගතයේ සමාජය තුළ ප්‍රසිද්ධියක් ලබන වාසනාවන්ත දරුවකු බිහි කිරීමේ වාසනාව ස්ත්‍රීට ලැබේ. කන්‍යා ලග්නය හිමි ස්ත්‍රියකගේ සෙනසුරු හය වැන්නේ සිකුරු පස් වැන්නේ උපතින් යෙදී සිටී නම් දරුපල සීමාවන අතර ගැහැනු දරුවකු ලැබීමේ වාසනාව හිමි වේ. තුලා ලග්නය හිමි ස්ත්‍රීන්ගේ සෙනසුරු සිකුරු සමඟ ලග්නයේ උපතින් යෙදී සිටී නම් වාසනාවන්ත ගැහැනු දරුවකු ලැබීමෙන් සතුටු විය හැකි අතර නමුත් දරුපල ඉදිරියට සීමා වේ. වෘශ්චික ලග්නය හිමි ස්ත්‍රියකගේ ලග්නයේ ගුරු පස්වැන්නේ රවි සමඟ පුර සඳු උපතින් යෙදී සිටී නම් එම අයට වාසනාවන්ත ගැහැනු දරු උපතක් සිදුවේ.

ධනු ලග්නය හිමි ස්ත්‍රියකගේ ලග්නගතව ගුරු සමඟ කුජ සංයෝගීව යෙදීම සිකුරු පස්වැන්නේ යෙදීම වාසනාවන්ත දරු උපතකට හේතු වේ. මකර ලග්නයෙන් පස් වැන්නේ බුධ සිකුරු උපතින් සංයෝගීව යෙදීම වාසනාවන්ත දරුවකු බිහිවීමට හේතු වේ. එම භාර්යාවටද වාසනාව උතුරා යනු ඇත. සැමියාගේ ආදරය කරුණාව ඇයට හොඳින් ලැබේ.

කුම්භ ලග්නය හිමි ස්ත්‍රියගේ බුධ සිකුරු නව වැන්නේ උපතින් යෙදීම වාසනාවන්ත දරු උපතකට හේතු වේ. මීන ලග්නයේ ගුරුද පසවැන්නේ පුර සඳු, උපතින් යෙදුණ ස්ත්‍රීන් හට වාසනාවන්ත දරුපල හිමි වේ.

ස්ත්‍රී කේන්ද්‍රයක යහපත් වාසනාවන්ත දරුපල හට ගැනීමට පස්වැන්න, නවවැන්න ලග්නය බලවත් වීම ඉතා වැදගත් වන අතර පුරුෂ කේන්ද්‍රයේද ඒ ආකාරයෙන්ම යෙදී ඇති නම් ලැබෙන්නේ පිනැති වාසනාවන්ත දරුවෝ බවත් ඒ අනුව දෙමාපියන්ට ඉමහත් වාසනාවකට හේතුවන බවත් වැඩිදුරටත් පවසමි. එපමණක් නොව ස්ත්‍රී කේන්ද්‍රයක පස්වැන්න ආශ්‍රිතව බලවත් ග්‍රහ සංයෝග උපතින් යෙදී තිබීම සතුට ගෙන දෙන වාසනාවන්ත දරුවන් බිහිවීමට හේතුවන බව පවසමි.

ජ්‍යෝතිර්වේදී ජේ. ගුණපාල
170, පාදුක්ක පාර,
අරමණාගොල්ල, හොරණ
දුරකථන අංකය- 0774347574

advertistmentadvertistment
advertistmentadvertistment