ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින්  සන්සුන්ව කටයුතු කරන්නැයි  – විපක්‍ෂ නායක ජනතාවගෙන් ඉල්ලයි

80

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ජනතාව විසින් සිදු කරනු ලැබූ සාමකාමී අරගලයට එරෙහිව ආණ්ඩුව දුර්දාන්ත ලෙස මර්දනය ආරම්භ කොට ඇතැයිද මේ මොහොතේ ආරක්ෂක අංශ විසින් කළ යුත්තේ දෙදෙනෙකු ආරක්ෂා කරනවා වෙනුවට සමස්ත රටේ ජනතාව ආරක්ෂා කිරීම යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 එකකට එකක් පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් සන්නද්ධ ආරක්ෂක අංශ ලවා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කොට ජනතාව මර්දනය කිරීම සඳහා ආණ්ඩුව කැස කවමින් සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ මොහොතේ වගකීමෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටියේය.

 බල උන්මාදයෙන් පෙළෙන ජනාධිපති අගමැති ප්‍රමුඛ කල්ලියේ ප්‍රෝඩාව වහා නතර කළ යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් මේ ප්‍රෝඩාවට ඉඩ නැතැයිද පැවසීය.

 ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරන ජනතාවට එරෙහිව මර්දනයේ හස්තය නොයොදන ලෙස ආරක්ෂක අංශවලට පැවසූ විපක්ෂ නායකවරයා ආරක්ෂක අංශ කෙරෙහි ජනතාව තුළ ඇති ගෞරවය සුරකින ලෙස ද ඉල්ලා සිටියේය. සාමකාමී ජන ජීවිතය සමග කරනු ලබන සෙල්ලම නතර කරන්නැයි ද ආණ්ඩුවට බලකළ විපක්ෂ නායකවරයා මේ මොහොතේත් සන්සුන්ව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් කටයුතු කරන්න යැයි ද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment