කෙහෙළියගේ ලෙඩේ ගැන විනිසුරු ඇසූ ප්‍රශ්නයට නීතිඥයා නිරුත්තර වෙලා

878

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය ලබන 26 වැනිදා නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (07දා) දින නියම කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික දුරකථන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් රුපියල් 230984.45ක් වැයකර ජනාධිපති කාර්යාල චක්‍රලේඛයන්ට පටහැනිව ගෙවීමට පෙළඹවීමෙන් අල්ලස් පනත යටතේ ගැනෙන වැරදි සිදුකිරීමේ චෝදනා යටතේ කෙහෙළිය රඹුක්වැල්ල හා ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම නඩුව පවරා තිබිණි.

විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් කළ හැකි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන්නේ නම් ඊයේ (07) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විනිසුරුවරයා පෙර නඩු දිනයේදී බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කොට තිබිණි. කෙසේ නමුත් ඊයේ දිනයේ ද ඔහුව අධිකරණයට ඉදිරිපත් කොට නොතිබූ අතර ඔහුව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශේෂ සැසිවාරයක් සඳහා ඉදිරිපත් කළ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. පෙර දිනයේ දී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් නොකළේ ඔහු රෝගී තත්ත්වයෙන් පසුවන බව පෙන්වා දෙමින් වන්නේ යැයි සිහිපත් කළ විනිසුරු දමිත් තොටවත්ත මහතා “දැන් එහෙනම් විත්තිකරුට සනීපවෙලා ඇතිනේ ඒ නිසානේ පාර්ලිමේන්තුවට එක්කරගෙන යන්න ඇත්තේ” යැයි විත්තියේ නීතිඥවරයාගෙන් විමසා සිටි අතර එම නීතිඥවරයා එම පැනයට පිළිතුරු ලබා නොදී නිහඬව සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment