මස්කෙළියේදී ලොරිය ප්‍රපාතයට පෙරළී – 22ක් රෝහලේ – වතු කම්කරුවන් 17කට බරපතළයි

128

මස්කෙළිය – සාමිමලේ ප්‍රධාන මාර්ගයේ, බ්‍රන්ස්වික් තේ වතුයායේ ක්වින්ස්ලන්ඩ් ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් පෙරේදා (03 දා) රාත්‍රී 10ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අඩි 40 ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇත. අනතුරෙන් එහි ගමන් කරමින් සිටි පුද්ගලයන් 22 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය හා දික්ඔය රෝහල් වෙත ඇතුළත් කර ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ බ්‍රන්ස්වික් තේ වතුයායේ ක්වින්ස්ලන්ඩ් කොටසේ පදිංචි වතු කම්කරුවන් පිරිසකි. තුවාලකරුවන් අතර කාන්තාවන් 17ක් හා පිරිමි පුද්ගලයන් 05 දෙනෙක් සිටිති. මෙම තුවාලකරුවන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවූ 17 දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත පෙරේදා රාත්‍රී යැවූ බව මස්කෙළිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී එච්. එම්. ඉර්ෂාඩ් මහතා පැවසීය. අනෙක් රෝගීන් 05 දෙනා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙති. මෙම පිරිස පෙරේදා පස්වරුවේ හැටන්, කාසල්රී ප්‍ර දේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී

වී පෞද්ගලික බස් රථයකින් ආපසු නිවෙස් කරා පැමිණෙමින් සිටියදී කුඩා මස්කෙළිය ප්‍රදේශයේදී එම බස් රථය කාර්මික දෝෂයකට ලක් වී ඇත. අනතුරුව මෙම පිරිස කිලෝමීටර් 03 ක පමණ දුරක් මස්කෙළිය නගරය දක්වා පා ගමනින් පැමිණ එතැන් සිට කුඩා කුලී ලොරි රථයක නැඟී නිවෙස් කරා ගමන් කරමින් සිටියදී බ්‍රන්ස්වික් වතුයාය ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී මෙසේ අනතුරට ලක්ව ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි. අනතුරෙන් ලොරි රථයේ රියැදුරාද තුවාල ලබා රෝහල් ගතකර තිබේ. මස්කෙළිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
නාලක රත්නායක – නුවරඑළිය, මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment