මත් බෙහෙත් – ඊ සිගරට් සහ සිස්ටම් චේන්ජ්

795

ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානයක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. රටින් රටට යන මත්ද්‍රව්‍ය ලංකාව හරහා හුවමාරු වන බවත් රට තුළ මත්ද්‍රව්‍ය වෙළෙඳාම හා භාවිතය අරටු බැස තිබීම බරපතල ඛේදවාචකයක් බවත් අපි හොඳාකාරවම දනිමු. නැව් ගණන් මත්කුඩු අල්ලා ප්‍රදර්ශනය කළත්, ඒවා විනාශකිරීම පිළිබඳ විනිවිදභාවයක් නැතිකමින් ආපසු එම මත්ද්‍රව්‍ය තොග පිටින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වී සමාජ ගතවීම සිදුවන බවට පසුගිය කාලයේ මොනවාට තොරතුරු අනාවරණය විය. මත්ද්‍රව්‍ය නාශනයට බලගන්වා සිටින ‘නාකොටික්’ පොලිසියේ ඇතැම් සාමාජිකයින් ද මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර අතටම අසුවූ අවස්ථා පසුගිය කාලයේ අපට අසන්නට ලැබිණි. නමුත්, මත්ද්‍රව්‍ය නාශනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය වත්මනේ සිදුකරන ක්‍රියාදාමය අපි අගේ කළ යුතු වෙමු.

අපි අද මේ මත්ද්‍රව්‍ය කතාවක් ඇදගත්තේ සමාජය වෙළාගෙන ඇති මත්ද්‍රව්‍ය භාවිතයේ අලුත් කතාවක් කියන්නට ය. විශේෂයෙන්ම පාසල් සිසු-සිසුවියන් ඇතුළු රටේ තරුණ පරපුර බරපතල අයුරින් වෙනත් මත්ද්‍රව්‍යවලට යොමුවී ඇති බවට පසුගිය සති කිහිපයේම වාර්තා වන්නට පටන්ගෙන ඇත. එහි අලුත්ම කතාව වන්නේ වත්මන් තරුණ පරපුර බහුල වශයෙන් E-Cigarette (ඊ-සිගරට්) නම් මත්ද්‍රව්‍ය භාවිතයේ අලුත්ම “වර්ෂන්” එකක් හෙවත් ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්හදාබැලීම හා (එතැනින් ඔබ්බට ඇබ්බැහිවීම දක්වා) හා වේදනානාශක ඖෂධ මත්ද්‍රව්‍ය ලෙස අධික ලෙස භාවිතයට පෙළඹීම මගින් බරපතල රෝග තත්ත්වයන්ට ගොදුරුව ඇති බව හඳුනාගෙන තිබීමය.

හෙරොයින්, හෂීෂ්, ගංජා, අබිං, අයිස්, ටැබා අතරට අලුතින්ම එකතුවී ඇති E-Cigarette (ඊ-සිගරට්) යනු ආරෝපණය (චාර්ජ්) කළ හැකි උපකරණයක් මගින් දුම් ඉරීම ය. මෙවන් උපකරණ ගෙදරටම ගෙනවිත් දෙන කුරියර් සේවා දැන් ඇති අතර, E-Cigarette (ඊ-සිගරට්) උපකරණය මුහුණු පොතේ භාණ්ඩ විකුණන සේවාවකින් හෝ කුරියර් සේවා සහ අලෙවි කිරීමේ යන සේවා දෙකම සිදුකරන ආයතන මගින්ද “භාණ්ඩ ලබාදීමෙන් පසු ගෙවීමේ” පදනමට නිවසටම හෝ ඉන්නා තැනකට ගෙනවිත් දෙනු ලැබේ.

මෙම උපකරණය මේවනවිට බහුල ලෙස තරුණ ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය විසින්ම භාවිත කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, ෆේස් බුක් සාද ඇතුළු සාදයන්හිදී පදමට වැදුණු පසු මෙම උපකරණය සාක්කුවලින් ඇදගෙන තමන් උරනු පමණක් නොව, මිතුරන්ගේ කටවල්වලද ඔබා අනිකුන්ටද දුම් උරන්නට සලස්වනු දැකගත හැකිය.

මෙහි ඇති ගැටලුව නම්, මෙම ඊ-සිගරට්ටුව තුළද ඇත්තේ සාමාන්‍ය සිගරට්වල මෙන්ම ‘නිකොටින්’ ය. එබැවින්, මෙය උරන්නාට සක්‍රීය දුම් පානයක් මෙන්ම, අවට සිටින්නාට අක්‍රීය දුම්පානයක්ද වශයෙන් සාමාන්‍ය දුම්පානයේ ඇති ආදීනව එලෙසම දෙකොටසටම සිදුවීමය. ලොකුම අර්බුදය වන්නේ මෝස්තරයක්, විලාසිතාවක් ලෙස තරුණ පරපුරේ වැඩි ප්‍රතිශතයක් ඉතා ශීඝ්‍රයෙන් මීට ඇබ්බැහිවීම ය. මේ බව කියන්නේ අප නොව, ජාතික අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයයි.

එසේ හෙයින් තරුණ පරපුර අතර රැල්ලක් මෙන් පැතිර යන මෙම ඊ-සිගරට්ටුවට වහාම වාරණ පැනවිය යුතුව ඇති අතර, විශේෂයෙන් පාසල් දරුවන් සිටින මව්පියන් මේ පිළිබඳ අවධානයෙන් සිට මෙම නව මත්ද්‍රව්‍යයට තම දරුවන් හුරුවීම වළක්වාලීමට කටයුතු කළ යුතුය.

එසේම, ලෝක අමද්‍යප දිනයට සමගාමීව මහනුවර පුෂ්පදාන සමිති ශාලාවේ පැවති වැඩසටහනක් අමතා අදහස් දක්වන මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන වැදගත් අනාවරණයක් සිදුකරයි. එනම්, ප්‍රබල වේදනානාශක ඖෂධ මත්ද්‍රව්‍ය ලෙස අධි මාත්‍රාවලින් කලක පටන් භාවිත කිරීම නිසා විශ්වවිද්‍යාල මෙන්ම පාසල් සිසුන් වෙතින් මානසික ආතතිය, වලිප්පුව හා අපස්මාර රෝගී තත්ත්වයන් වාර්තාවන්නට පටන්ගෙන ඇති බව ඔහු කියයි.

මෙවන් රෝගී තත්ත්වයන් තම දරුවන්ට වැළඳුණු පසු ඒ වලිප්පුව හෝ අපස්මාරය විය හැකි බවට දෙමව්පියන් තේරුම් ගත්තද, ඊට හේතුව දරුවන් මත්වීමේ අරමුණින් වේදනානාශක පෙති අඛණ්ඩව ලබාගැනීම විය හැකි බව වෛද්‍ය අබේවර්ධන මෙහිදී අනාවරණය කර ඇත.

මෙය දරුවන්ගෙන් අප අපේක්ෂා නොකරන එනමුත් බරපතල තත්ත්වයකි. අප අපේ දරුවන් පාසලට හෝ විශ්වවිද්‍යාලයට යවන්නේ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන විටෙක නිවාස, ඉඩ-කඩම් උකස් කරමිනි. එහෙත් එසේ යන දරුවා මත්ද්‍රව්‍ය හෝ මෙවන් විකල්ප මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වන්නේ නම් එය අප නිවසට, ගමට ඇතිවන ප්‍රශ්නයකටත් වඩා රටේම ප්‍රශ්නයක් බවට පත්වනු ඇත. විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන පෙන්වා දෙන පරිදි එම ප්‍රශ්නයේ ජාතික අර්බුදය ද අපට මෙහිදීම තේරුම් ගැනීමට හැකිය. එනම්, හෙරොයින් ඇතුළු මත් කුඩු සඳහා මේවනවිට රටේම පුද්ගලයින් ලක්ෂයකට වඩා බරපතල අන්දමින් ඇබ්බැහිවී පීඩා විඳින බවද, ඉන් 6000 කට වඩා වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය එන්නත්කරුවන් වන බැවින් ඒඩ්ස්, හෙපටයිටිස් වැනි රෝග පැතිරීමේ වේගය වැඩිවී ඇති බවද ඊට අමතරව මෙසේ වේදනානාශක ඖෂධ අධි මාත්‍රා ගැනීමෙන් මානසික ආබාධයන්ට ගොදුරුවන පිරිස සමාජයේ ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවද ඔහු කියයි.

මාතලේ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 13-18 අතර වයස් කාණ්ඩයේ පාසල් සිසු-සිසුවියන් අතර සිදුකරන ලද පරීක්ෂණයකදී ඔවුන්ගෙන් සියයට 28 ක් කුමන හෝ මත්ද්‍රව්‍යයක් භාවිත කර තිබෙන බවද, ඉන් සියයට 69 ක් ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක පසු වූ බවද මෙහිදී විශේෂඥ මනෝ වෛද්‍ය අබේවර්ධන මෙහිදී අනාවරණය කර ඇත.

ඉතින්, රටත්, රටේ තරුණ ජනගහනයත් ඇත්තේ ඉතා ඛේදනීය තත්ත්වයක නොවන්නේද..? සිස්ටම් චේන්ජ් සඳහා රට භාරදෙන්නට සිදුවන්නේ මෙවන් ජන කණ්ඩායමකටද..?

advertistmentadvertistment
advertistmentadvertistment