සියයට 52ක් දෙමළ ජනතාව දකුණේ සිටිද්දී සිංහලයන්ට උතුරේ පදිංචිවීමට හෝ ව්‍යාපාරයක් කිරීමට බැහැ – අසාධාරණය වී ඇත්තේ කාටද?

1232

සරත් වීරසේකර (ශ්‍රීලපොපෙ)
වයිෆයි දෙන්නම් කියපු ප්‍රජාතන්ත්‍රවාදියා සමාජ මාධ්‍ය දඩයම් කරන්න හදනවා
එස්. එම්. මරික්කාර් (සජබ)
දූෂණ – වංචාවලට ක්‍රියාමාර්ග නොගැනීම අයිඑම්එෆ් දෙවන වාරිකයට බලපාලා
ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවනු ලබන්නේ නිෂ්පාදකයා ආරක්ෂා කිරීමටයි
රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද හැමවිටම පනවනු ලබන්නේ මෙරට නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට පමණක් බවත් එමගින් ආනයන සඳහා බාධාවක් ඇතිවන බවත් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) ප්‍රකාශ කළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. නිවේදන, ලිපිලේඛන, වාර්ෂික වාර්තා, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීම, ඉන්පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු ලබා දෙනු ලැබීය. පසුව 27/2 යටතේ පක්ෂ නායකයන් විසින් අසනු ලබන විශේෂ ප්‍රශ්න විමසීම සහ ඒවාට පිළිතුරු ලබාදීම සිදුවිය.

අනතුරුව ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයන් තුනක් අනුමත කිරීමට සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හතරක් අනුමත කිරීමට අදාළ විවාදය කෙරිණි.

විවාදය ආරම්භ කරමින් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා:

මුද්‍රණ තීන්දු මිල අඩු කිරීමට ඉදිරියේ දී කටයුතු කරනවා. ආනයනික මුද්‍රණ තීන්තවල මිල අඩු කරනවා. මෙය මුද්‍රණ කර්මාන්තයට ඉතා යහපත් තීන්දුවක්.

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතා ජනතාව සමග කතා කර පාර්ලිමේන්තුවේ එකඟතාව ඇතිව සිදු කළා. එය විවෘතව කතාකිරීමත් විපක්‍ෂයට ප්‍රශ්නයක් වෙලා.

අට වතාවකදියි අපිට මේ ණය මුදල ලැබෙන්නේ. එහිදී වරින් වර සමාලෝචනයක් ඔවුන් කරනවා. එය සාමාන්‍ය තත්ත්වයක්. අද අපි ගත් නිවැරදි තීරණ නිසා රට යහපත් තැනකට පැමිණ තියෙනවා. අපි විශාල ප්‍රතිසංස්කරණවලට

ගිහින් තියෙනවා කියා ඔවුන් කියනවා. තවදුරටත් ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අභියෝග රැසකට මුහුණදීමට ආණ්ඩුවට සිදුවෙනවා. වසර 75ක සිදුවූ වැරැදි කෙටි කාලයකින් නිවැරදි කර ගන්න යනවා. එය ඉතා අසීරු කාරණයක්.

අද විපක්‍ෂය සම්ප්‍රදායිකව සිතන්නේ මෙවැනි අවස්ථාවක දී සම්ප්‍රදායෙන් බැහැර විය යුතුයි.

රනිල් වික්‍රමසිංහ මහතා දරන නායකත්වය ඉතා අභියෝගාත්මකයි. ඒ නායකත්වය මම කිසි නායකයෙක්ගේ දැක නෑ. අද ජනාධිපතිට එතුමාගේ පක්‍ෂයේ ඉන්නේ තුන් දෙනයි. මේ නායකත්වය ඉතා ධෛර්යමත් දැවැනත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න මේ නායකයා ක්‍රියාකර තිබෙනවා. තම පක්‍ෂයේ නොවන කණ්ඩායමක් එකතු කරගෙන දැවැන්ත අභියෝගයකට මේ නායකයා මුහුණ දෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් (සජබ) :

මේ රටේ ජනතාව වළපල්ලට දාපු, මැද පන්තිය විනාශ කරපු මේ ආණ්ඩුවේ අයි. එම්. එෆ්. එකඟතාව අපේ ආණ්ඩුවකදී වෙනස් කරනවා. ඔවුන් බලන්නේ ගෙවීමේ හැකියාවයි. මේ අවුරුදු එකහමාර තුළ එක ඩොලරයක ආයෝජනයක් මේ ආණ්ඩුව ගෙනාවේ නෑ.

මේ ආණ්ඩුව කරන්නේ දඩයමයි. ත්‍රස්ත විරෝධි පනත සමාජ මාධ්‍ය පාලන පනත ගෙනල්ල කරන්නේ දඩයමයි. ඒකට උදව් කරන්න කියලා අපට කියනවා. ෆ්‍රීවයිෆයි දෙන්නම් කියපු කෙනා සමාජ මාධ්‍ය දඩයම් කරන්න යනවා. මේ රටේ මිනිස්සුන්ට බදු ගහලා, පීඩනයට පත් කරන විට ඔවුන්ගේ ප්‍රශ්න සමාජ මාධ්‍යයෙන් හෝ එළියට දානවා. එය වැළැක්වීමටයි ප්‍රජාතන්ත්‍රවාදියා කියලා පෙන්නලා මෙහෙම ඇවිත් ඒකාධිපතියා වගේ වැඩ කරනවා.

ජර්මනියේ විදෙස් නාළිකාවකට ගිහින් ගැලරි ටෝක් දෙනනවා. ඔහොම හැසිරුනාම ජාත්‍යන්තරය උදව් කරයිද?

එදා අගමැති සමයේ ජනපතිවරයා මාධ්‍ය නිදහස ගැන දේශන තිබ්බා. එහෙම කරලා දැන් කරන වැඩ දැක්කම පුදුමයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙච්චර කාලයක් හොයන්න බැරිවුණා. ජනපතිගේ අතිජාත මිත්‍රයා. දැන් ජනාධිපති නිසාවත් ඒ ඝාතනය සොයන්න බැරි ඇයි?

දකුණු ආසියාවේ තුන්වෙනියාට වැඩිම විදුලි බිලක් තියෙන රට අපේ රට. ගිය සතියේ නැවත විදුලි බිල වැඩි කරන්න කැබිනට් එකට යෝජනාවක් දාලා. ඒ වැඩි කිරීම කළොත් දකුණු ආසියාවේ වැඩිම විදුලිබිල ලංකාව බවට පත් වෙනවා. විදුලි බිල වැඩි කළහොත් ජනතාවට ජීවත් වෙන්න බැහැ. දැනටමත් ජනතාව දැඩි පීඩනයකට පත්වෙලයි ඉන්නේ. ඒකාධිපති උන්මත්තක තීරණවලින් නැවත විනාශ කරගන්නයි හදන්නේ.

අද ජනාධිපති ලේකම් කාර්යාලය අර්බුදවලින් පිරිලා. දිනපතා වලියන තැනක් බවට පත් වෙලා.

මේ රටේ ණය වාර්තාව මේ වර්ෂයේ දෙවන කාර්තුව වනවිට ඩොලර් බිලියන 96ක් වෙලා.

ගියවසරේ අග තිබුණ ඩොලර් බිලියන 85යි. බැඳුම්කර නිකුත් කරලා ණය බර වැඩි කරලා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් වීරසේකර (ශ්‍රීලපොපෙ) :

මුලතිව් මහෙස්ත්‍රාත් අස්වී රට ගියා. ඒ ගැන විපක්‍ෂ මන්ත්‍රීවරයෙක් මට චෝදනා කළා. මම මහෙස්ත්‍රාත්ට තර්ජනය කළා නම් ඒ වෙලාවෙම මාව අත්අඩංගුවට ගන්න තිබුණා. උතුර ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් පිරිවරාගෙන සිටින විට මහෙස්ත්‍රාත්වරයකුට තර්ජනය කරනවා නම් තර්ජනය කරන පුද්ගලයාට මොළේ අමාරුවක් තිබිය යුතුයි.

එදා වසර 2000ක් පැරැණි බෞද්ධ විහාර සංකීර්ණයේ දී පොංගල් උත්සවයකට අවසර දුන්නා. එතනදී හිටපු පළාත් සභා මන්ත්‍රී රවිහරන්ට කතා කරන්න මහෙස්ත්‍රාත් ඉඩ දුන්නා. නමුත් මමත් මගේ අදහස් කියන්න ඉඩ ඉල්ලුවහම රවිහරන්ට අවසර දුන් මහෙස්ත්‍රාත් මට ඉඩ දුන්නේ නෑ. එවිට මම නිශ්ශබ්ද වුණා.

නමුත් මම පාර්ලිමේන්තුවේ දී කිව්වා පොංගල් උත්සවයට ඉඩදීම වැරැදියි කියලා. බෞද්ධ හා හින්දු ආගමිකයන් අතර ගැටුමක් ඇති වෙනවා කිව්වා. මම ඒ මහෙස්ත්‍රාත් සමග කිසිම කතාවකට හෝ ප්‍රශ්නයකට ගියේ නෑ.

සිංහල ජනතාවට උතුරේ පදිංචිවීමට, රැකියාවක් කිරීමට, ව්‍යාපාරයක් කිරීමට බැහැ. මුස්ලිම් ජනතාවටත් එහෙමයි. ඒත් සියයට 52ක් දෙමළ ජනතාව දකුණේ ඉන්නේ සිංහල අය සමග සතුටින්. කාටද අසාධාරණයක් වී ඇත්තේ. ඒ වැරැද්ද පෙන්වන අපිද ජාතිවාදී. උතුරේ පුරාවිiා ස්ථාන දිගටම විනාශ කරනවා. පැරැණි චෛත්‍ය බිමට සමතලා කරලා ඒක උඩ ශිව ලිංග තියනවා. මේ තුළ ගැටුමක් ඇතිවෙනවා. මේ තුළ මහෙස්ත්‍රාත් දුන් නියෝගය සාධාරණද?

මුලතිව් මහෙස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයේ විභාග වන නඩු 5ක වගඋත්තරකරුවෙක්. ඒ නිසයි නීතිඥ සහය පතලා තියෙනවා. ජීවිත තර්ජන තියෙනවා නම් ඔහුට වරෙන්තුවක් ගන්න තිබුණා. ඔහුගේ බිරිඳත් අධිකරණ සේවා කොමිසමට මහෙස්ත්‍රාත්ට විරුද්ධව පැමිණිලි කරලා. ඉක්මනින්ම මහෙස්ත්‍රාත් පිටවීම ගැන පරීක්‍ෂණ පැවැත්විය යුතුයි.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ :

නිවැරදි තීන්දු නොගත්තොත් රට හිටපු තැනටම යන්න සිදුවෙනවා. ජනතාව දුක්විඳින තැනට පත්වෙනවා.

කෙටි කාලීන විසඳුම් ලබා දීලා 2023 වනවිට බරපතළ තැනට රට තල්ලු වුණා. ජාත්‍යන්තර රටත් එක්ක නිවැරදිව ගමන් කළ හැකි පිරිසක් සමග එකතු විය යුතුයි. ඒ සඳහා විපක්‍ෂයේ සහය අවශ්‍යයි. අපට විකල්ප යෝජනා කිසිවක් ආවේ නෑ. ආවානම් පිළිගත හැකි යෝජනාවක් අපි සලකා බලනවා. රටේ යම් පිබිදීමක් තියෙනවා. ඒත් තිරසාර වී නෑ. ඒ සඳහා විශාල වැඩකොටසක් සිදුකළ යුතුයි.

ඉදිරි වර්ෂ කිහිපය තිරසර ආර්ථිකයකට උරුමකම් කියන්න අවශ්‍ය නීති සම්මත කර තියෙනවා. අද ආහාර උද්ධමනය සෘණ 5කට අඩුවෙලා. සමහර රටවල උද්ධමනය සියයට සියයට වඩා වැඩියි. ලොවම ගෝලීය අර්බුදයට ගිහින් තියෙන්නේ. එහිදී හොඳම ප්‍රතිසංස්කරණවලට රජය ගිහින් තියෙනවා.

දැන් පොළී අනුපාතයන් අඩුවී තියෙනවා. ලීසිං පොළිය 35ට ගියා. ණය පොළිය සියයට 30ට ගියා. අද ඒ අනුපාතය සියයට 13ට අඩුවෙලා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ද ැඩි අර්බුදයක ඉන්නේ. ඔවුන්ට ණයක්වත් ගන්න බැහැ. ආසියානු සංවර්ධන බැංකුවත් සමග එකතු වී වැඩසටහනක් ඇතිකර එම ව්‍යාපාරිකයන්ට ණය දෙන්න හැකිවේවි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත (ශ්‍රීලපොපෙ) :

පොත්වල මිල අද ඉහළ ගිහින්. පොත් ප්‍රකාශන ප්‍රමාණයත් අඩුවෙලා. මුද්‍රිත තීන්තවල මිල අඩු කිරීමට යම් පියවරක් ගෙන තියෙනවා.

විපක්‍ෂයේ සමහරු වැඩි කාලයක් ඉන්නෙ ජනාධිපතිතුමා සමග. ජනාධිපතිව මම අගය කරන්නේ කවුරුත් භාර නොගන්නා අවස්ථාවේ රට අරගෙන අභියෝගය භාර ගැනීමයි. ඔහු දැන් කරන වැඩවලට අපි ගරුකරනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ (ශ්‍රීලපොපෙ) :

මූල්‍ය අරමුදල පවා ආදායම ගැන ප්‍රශ්නකර තියෙනවා. මේ වසරේ දී අපි රේගුවෙන් රුපියල් බිලියන 1217ක ලාභයක් අපේක්ෂා කරනවා. නමුත් මේ වනවිට ලැබී තියෙන්නේ බිලියන 655ක් පමණයි. සියයට 53යි. බලාපොරොත්තු වන ඉලක්කයවත් ලබාගන්න බැරිවෙලා.

දවසකට රේගුවට කන්ටේනර් 3000ක් විතරඑනවා. එයින් සියයට 30ක් බීඕඅයි පර්යන්තයට යනවා. ඒවා එකක්වත් පරීක්‍ෂා කරන්නේ නෑ.

ලංකාව වාහන ආනයනය තහනම් කරන්න තීරණයක් ගත්තා. ඒත් දැන් වෙලෙඳ පොළේ අලුත් වාහන තියෙනවා. ඒවා රේගුවේ ලියාපදිංචි වෙලා. නවීන වාහන ගන්න පුළුවන් මිලියන 100 යි 125යි. වාහන ආනයන නැවැත්වුවත් ඒ විදියටම සිදුවෙනවා.

හොර බඩු රේගුව හරහා එනවා. පරීක්‍ෂා කරන්නේ නෑ. එන භාණ්ඩ අඩු අගයකට තක්සේරු කරලයි. රුපියල් සියයේ භාණ්ඩය රුපියල් 10කට තක්සේරු කරලා. කොහොමද එහෙම වෙන්නේ. වැඩිම දූෂණ අක්‍රමිකතා වෙන්නේ රේගුවෙයි. හොර කන්ටේනර් එකක් දවසින් එළියට යනවා. හොඳ එකක් එන්න සතියක් යනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ) :

මූල්‍ය අරමුදල වාර්තාවක් නිකත් කර තිබෙනවා. එහි රජයේ ආයතන ඉහළ සිට පහළට දූසිත බව සඳහන් වෙනවා. දෙවන වාරිකය නොලැබීමට හේතුව ලෙස ආදායම් අඩුවීම, යහපාලනය, දූෂණය වංචාව අඩු කිරීමට ක්‍රියාමාර්ග නොගැනීම දක්වා තියෙනවා. දෙවන වාරිකය නොලැබුණොත් දැඩි අවදානම් තත්ත්වයක් තියෙනවා. පාර්ලිමේන්තුවට කොළේ වහලා වැඩ කරපු නිසයි මේ තත්ත්වය ඇති වී තියෙන්නේ. දැන් තිත්ත බෙහෙත් බොන්න සිදුවෙලා.

මොවුන් නිර්දෙශ 16ක් දීලා තියෙනවා. අල්ලස් කොමිසම ලබන මාසය වනවිට ස්ථාපිත කළ යුතුයි. අපරාධ නීතිය බලාත්මක කළ යුතුයි. නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හැදීම ඇතුළු කරුණු එහි ඇතුළත්. මේ නිර්දේශ වැරැදි නෑ, කළ යුතුයි. ස්වාධීන නීති පැවරීමේ කාර්යාලයක් ඇතිකර මේවා ස්වාධීනව සිදුවිය යුතු බවත් ඔවුන් නිර්දේශ කර තියෙනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment