පොහොට්ටු නරුමයාගේ අංගම් කෙළිය

955

පාසල් සිසුවකුට ලේ ගලන තුරු පහරදී දින අටක් පොලිසියෙන් සැඟව සිටි දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු පොහොට්ටු මන්ත්‍රී තරංග ජයසිංහ නමැති පුද්ගලයා පසුගියදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලදි. මේ දේශපාලන මීහරකාගෙන් පහර කෑ සිසුවාගේ වයස අවුරුදු 16ක් වේ. සැකකාර හිටපු මන්ත්‍රීවරයා ප්‍රචණ්ඩ අතීතයක් ඇති පුද්ගලයකු බව දැනගැනීමට තිබේ. 2022 අගෝස්තු මාසයේදී හෙතෙම මීරිගම සංවර්ධන නිලධාරිනියකට හෙල්මට් එකකින් පහරදී ඇත. ඒ පිළිබඳ වීඩියෝව අන්තර්ජාලයේ තිබේ. සිද්ධියට සම්බන්ධ ප්‍රචණ්ඩ ත්‍රස්තවාදියා එම කාන්තාවට පහර දෙන්නේ යතුරුපැදියෙන් බිමටවත් නොබැස ඇය ළඟට ගෙන්වාගෙනය. මේ ප්‍රහාරය මහ දවල් ජනාකීර්ණ ඉන්ධන හලකදී හටගත් එකක් වූ අතර මේ කියන ත්‍රස්තවාදියාට පහරදී ඔහුගේ යතුරුපැදිය ද ගිනි තැබීමට තරම් කොන්ද පණ ඇති පිරිමි ඒ අහල පහල නොසිටීම ගැන අපි කනගාටු වෙමු. තරංග ජයසිංහ නමැති ප්‍රචණ්ඩ පුද්ගලයා පාසල් සිසුවාට පහරදීම ගැන ලජ්ජා විය යුතුය. බාලවයස්කාරයකුට පහරදීම නීති විරෝධී ක්‍රියාවකි. එය කායික අපහරණයක් ලෙස සැලකිය හැක. එම සිද්ධිය වී ඇත්තේ ද ප්‍රසිද්ධ ස්ථානයකය. තරංග ජයසිංහ නමැති ප්‍රචණ්ඩ පුද්ගලයාගේ බෙල්ලෙන් අල්ලා කාණුවක ඔබා තරුණ පිරිමි ළමයා බේරා ගැනීමට තරම් කොන්දක් ඇති පිරිමි ඒ අහල පහල සිටියේ නැත. ප්‍රචණ්ඩකරු සිසුවාට පහරදී ඇත්තේ තවත් සිසුවකුගේ පාර්ශ්වය නියෝජනය කරමිනි. එම සිසුන් දෙදෙනා අතර ආරවුලක් ඇති විය. විරුද්ධ පාර්ශ්වයේ සිටින පාසල් සිසුවාට ලේ හැලෙන තුරු පහරදීම තම පිරිමිකම පෙන්වීමට හොඳම අවස්ථාව බව තරංග ජයසිංහ සිතන්නට ඇති. නිරුවතින්ම පාරේ සිටගෙන සිටියා නම් වඩාත් හොඳින් සිය පිරිමිකම පෙන්වීමට ඔහුට ඉඩ තිබිණ. හැබැයි ඒ ආකාරයෙන් පිරිමිකම ඔප්පු කළ හැකි වන්නේ පිරිමිකමක් තිබෙනවා නම් පමණි. තරංග ජයසිංහ වැනි දුෂ්ට මිනිසුන් පස්ස පැත්තට පයින් ගසා දේශපාලනයෙන් එළවා දැමිය යුතුය. මන්ද කෝපය පාලනය කරගැනීමට නොහැකි මෙවැනි අධම ජනයා ප්‍රසිද්ධ සමාජයට වැද මීහරක් මෙන් අනින්නට පටන් ගනිති. තරංග ජයසිංහ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකි. පොහොට්ටුවට කෙළවුණේ ඇයි දැයි දැන් අපට සිතාගත හැකිය. දේශපාලනය ආයුධයක් හැටියට සියතට ගෙන හතර අතේ වනමින් පිස්සු කෙළීමේ ගොන් පාට්එක ඇතැම් නූගත් දේශපාලනඥයන්ගේ ඇඟ පුරාම තිබේ. මෙවැනි මීහරක් දේශපාලනඥයන් මුල්වරට එළියට එන්නේ 1970 ගණන්වල පැවති සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ අවසන් කාර්තුවේදීය. 1978 බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධනගේ ධර්මිෂ්ඨ ආණ්ඩුව ද සිය ප්‍රචණ්ඩත්වය ඉදිරියටම ගෙන ගියේය. ප්‍රචණ්ඩත්වය යනු වෙනම ස්වරූපයක ආයුධයකි. මේ ආයුධය සෑදීම සඳහා භීතිය නමැති සංකල්පය අමුද්‍රව්‍ය ලෙස යොදාගනු ලැබේ. භීතිය යනු මර්දනයේ කොටස්කාරයෙකි. ඒ අනුව ප්‍රචණ්ඩත්වය, භීතිය මර්දනය යන කාරණා තුනම හරියට බැලන්ස් කරගත් විට ජනතාව පණපිටින්ම අපායට දැමිය හැක. මේ වනවිට ලෝකයේ රටවල් ගණනාවක්ම ප්‍රචණ්ඩත්වය නමැති සාධකය යොදාගෙන පවත්වාගෙන යනු ලැබේ. මේ සඳහා අප්‍රිකානු රටවල් විශාල නමක් දිනාගෙන ඇත. ආසියාවේ ද ප්‍රචණ්ඩ සංස්කෘතිය ඇති රටවල් කිහිපයක් ඇත. ඕනෑම නරක තැනකට තල්ලුවී යෑමට ප්‍රචණ්ඩත්වයට පුළුවන. එසේ තල්ලු වූ විට ජාතිවාදයේ ගින්න, ස්ත්‍රී දූෂණයේ ලෝදිය, ගෙවල් ගිනි තැබීමේ විනාශය, මිනිසුන් ඝාතනය කිරීමේ පාපය යනාදිය ඇස් පනාපිටටම ගෙන ඒමට ප්‍රචණ්ඩත්වයට පුළුවන. 16 හැවිරිදි පාසල් සිසුවාට පහර දුන් තරංග ජයසිංහ ද ප්‍රචණ්ඩත්වයේ උල්පතකි. මේ උල්පත් දුටු සැණින් හැකි විගස වසා දැමීම ජනතාවගේ යුතුකම බව අපගේ වැටහීමය. ඒ සඳහා උසාවි හෝ පොලිසියට යා යුතු නැත. මේ ආයතනවලට විසඳිය නොහැකි ප්‍රශ්න විසඳීමට දෙකේ දෙකේ පොලුවලට පුළුවන. තරංග ජයසිංහ ඊළඟ නාඩගම නටන තුරු ඉහත සඳහන් පොලු මහත් වුවමනාවෙන් බලා සිටී.

ලංකාවේ දේශපාලනය පටන්ගත් තැනින් ඉස්සරහට ගෙන යෑම ජනතාවට හෝ ස්වභාව ධර්මයට හැකි වූ බවක් නොපෙනේ. වඳුරා එදා සිට අද දක්වාම ගහ උඩ සිටින්නාක් මෙන් ප්‍රචණ්ඩ දේශපාලනඥයා හැමදාමත් ඉන්නේ ගස මුලය. මේ නිසා වඳුරාට ගසට වඩා උස නැග්මක් නැති අතර ගසේ මුල ඉඳගෙන ඉන්නවා හැර අන් යමක් කිරීමට ප්‍රචණ්ඩ දේශපාලනඥයාට බැරිය. මෙය ජනතාව විසින් තේරුම් ගනු ලැබිය යුතු තත්ත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment