ආසියානු දැල්පන්දු ශූරතාවලිය ඉලක්ක කර වැඩ පටන් ගනී

99

13 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලිය මෙම වසරේ සැප්තැම්බර් මස 26 වැනිදා සිට ඔක්තෝබර් 6 දක්වා සවුදි අරාබියාහිදී පැවැත්වීමට නියමිතව ඇත. එම තරගාවලිය ඉලක්ක කර ක්‍රීඩිකාවන් 18කගේ සංචිතයක් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් පිහිටුවා තිබෙන අතර ඔවුන් සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ අද (04 වැනිදා) පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අනතුරුව ලබන 08 වැනිදා සිට ක්‍රීඩිකාවන් සිය නේවාසික පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිත වේ.

1985 ආරම්භ වුණු ආසියානු නෙට්බෝල් ශූරතා ඉතිහාසය අනුව ශ්‍රී ලංකාව වැඩිම අවස්ථා ගණනක් (6) ශූරතාව දිනූ කණ්ඩායම වේ.

පසුගිය 2018 සහ 2022 තරගාවලි දෙකේදීම පිට පිටම එම ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඊට පෙර 1989, 1997, 2001, 2009 වසරවල ද එම ශූරතාව ශ්‍රී ලංකාව දිනා ඇත.

2024 තරගාවලියේදී ද ශ්‍රී ලංකාව එම ශූරතාව දිනා ගැනීමට සමත් වුවහොත් අදාළ තරග ඉතිහාසයේ පිට පිටම ශූරතා ත්‍රිත්වයක් වාර්තා කළ එකම රට ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසගත වනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය 15 ට අඩු කිරීම අප්‍රේල් අලුත් අවුරුද්දට පෙර ද තරගාවලිය නියෝජනය කරන අවසන් ක්‍රීඩිකාවන් 12 නම් කිරීම මැයි තුන්වන සතියේ සිදු කිරීමට ද ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය විධිවිධාන යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment