ඉහළ යන ටයර් සහ ඉන්ධන මිල හමුවේ හාල් මිලත් ඉහළට

79

කිලෝවක මිල රු. 03කින් වැඩි කරන්න වෙනවාලු

ලොරි රථ සඳහා යොදන ටයර් මිල ඉදිරියේදී විශාල වශයෙන් ඉහළ යනු ඇති බවත් ඉන්ධන මිල වැඩිවීමත් නිසා සහල් දැනට පවතින මිලට වඩා කිලෝවක් රුපියල් තුනකින් පමණ ඉහළ දමීමට සිදුවනු ඇතැයි ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයකු වන මිත්‍රපාල ලංකේශ්වර මහතා පවසයි.

සහල් මිල වැඩි නොකරන්නේ නම් ගොවියාට වී කිලෝවට ගෙවන මිල අඩු කිරීමට සහල් කර්මාන්තයේ නියුතු අයට සිදුවනු ඇති බවද ඒ මහතා පැවසීය.

එමනිසා සහල් කර්මාන්තයට අදාළ අමුද්‍රව්‍ය මිල වැට් බද්දෙන් ඉවත්කර ගැනීම සඳහා හැකියාවක් තිබේද යන්න රජය සමග සාකච්ඡා කිරීමට සහල් නිෂ්පාදකයන් ඉදිරියේදි බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.

පසුගිය 02 දා පොලොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මිත්‍රපාල මහතා මෙසේද කීය.

“මොනම හේතුවකටවත් රටින් සහල් ගෙන්වීමට උවමනාවක් නෑ. ඒක වී මිල අඩුවීමට බලපානවා. ගොවියාට තමයි ඒ පාඩුව වෙන්නේ. ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටින්නේ රටින් සහල් ගෙන්වන්න එපා. මොකද අපේ රටේ අවශ්‍ය තරම් සහල් තිබෙනවා. සහල් හිඟයක් නෑ. මේ ජනවාරි මාසයෙන් පස්සේ ගොයම් කැපෙන්න පටන් ගත්තම හොඳ වී අස්වැන්නක් ලැබෙනවා. කීරි සම්බා කියන වී වර්ගය පහුවුණ කන්නයේ ගොවි මහත්තුරු අඩුවෙන් වගාකළ නිසා ඒ හාල්වලට ඉල්ලුම වැඩිවුණා. ඒ නිසා පොඩි අඩුවක් තියෙනවා. පෙබරවාරි මාසයේ 15 වැනිදා පමණ වනවිට මේ ප්‍රශ්නය අවසන් වෙයි.

නමුත් ලොරි රථවලට යොදන ටයර් මිල විශාල වශයෙන් වැඩිවෙයි. ඩීසල් මිල වැඩිවුණා. මම ගණන් හදලා බැලුවා හාල් කිලෝවක් රුපියල් තුනකින් වැඩිවෙන්න ඕන. එක්කො ගොවියාට වී කිලෝවට ගෙවන මිල අඩු වෙන්න ඕන. රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉදිරියේදී තවත් අමාරු වෙයි. එමනිසා සහල් මිල ඉහළ දැමීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. අනෙක් සහෝදර සහල් කර්මාන්ත ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා කරලා මේක මොන ආකාරයෙන්ද විසඳගන්නේ කියන එක ගැන තීරණයක් ගන්නවා…”
කරුණාරත්න ගමගේ – පොලොන්නරුව

advertistmentadvertistment
advertistmentadvertistment