මිල්න්ගේ වේගයෙන් ඩනේඩින් පැතුම් සුන් වේ

245

දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න් විසින් ශ්‍රී ලංකා කණ්ඩායම සුනුවිසුණු කරන ලදුව තමන්ට හිමිවූ ලකුණු 142 ක ඉලක්කය කඩුලු 9ක් සහ පන්දු 32ක් අතැතිව ජයගත් සත්කාරක නවසීලන්ත ක්‍රීඩකයෝ තරග තුනකින් යුතු තරගාවලිය 1-1ක් වශයෙන් සම තත්ත්වයට ගෙන ඒමට ඊයේ (05 වැනිදා) ඩනේඩින් හිදී සමත් වූහ.

ඒ අනුව අනිද්දා (08 වැනිදා) ක්වින්ස්ටවුන් හිදී පැවැත්වෙන තරගය තරගාවලියේ තීරණය විසඳෙන තරගය බවට පත් වී තිබේ.

කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළ නවසීලන්ත නායකයා සිය වේග පන්දු යවන්නන් දෙදෙනාට පන්දුව භාර කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම 13 වැනි පන්දු වාරය වනවිට කඩුලු දෙකක් දැවී ලකුණු 92 ක් රැස් කරගෙන සිටියද ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතාවයත් නිසා ඉතිරි කඩුලු 7ම ලකුණු 50ක් තුළ බිඳ වැටීම පරාජය වෙනුවෙන් කපන ලද මාවතක් විය.

පෙර තරගයේ වීරයා වූ චරිත් අසලංක ලකුණු 24ක් රැස් කරගෙන සිටියදී දැවී ගිය අතර නායක දසුන් ශානක ද ලකුණු හතකට දැවී ගියේය. තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට ඇතුළත් කර ගනිමින් ශ්‍රී ලංකාව ඊයේ තරගයට පිවිසි අතර නවසීලන්තයේ දැවී ගිය එකම කඩුල්ලට හිමිකම් කීමට ද කසුන් රාජිත සමත් වූයේය.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය ලකුණු 18කට පමණක් සීමා කරමින් කුසල් මෙන්ඩිස් ලකුණු 10කට දැවී ගිය අතර පෙර තරගයේ පළමු පන්දුවෙන්ම දැවී ගිය පැතුම් නිශ්ශංක ඊයේ දිනයේ ද ලබාගත්තේ ලකුණු 09 ක් පමණි.

අනතුරුව ලකුණු 62ක සම්බන්ධතාවයක් තෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගීමට කුසල් පෙරේරා සහ ධනංජය ද සිල්වා සමත් වූ අතර කුසල් පෙරේරා හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 35 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ධනංජය ද සිල්වා පන්දු 26කින් ලකුණු 37ක් ලබා ගත්තේ තම ඉනිම හතරේ පහර 3කින් සහ හයේ පහර 2කින් අලංකාර කරමිනි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 3ම බිඳ හෙළු මිල්න් අවසානයේ ලකුණු 26කට කඩුලු 5ක් දවා ගනිමින් සිය ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස තරග දිවියේ තම හොඳම පන්දු යැවීම සටහන් කරගත්තේය.

නවසීලන්ත ඉනිම ආරම්භ කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළ චැඩ් බවුස් ලකුණු 31ක් ලබාගත් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ටිම් සෙයිෆර්ට් සහ නායක ටොම් ලේතම් දෙදෙනා ගොඩ නැඟූහ.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සෙයිෆර්ට් ඊයේ ලකුණු 79ක් ලබා ගත් අතර ඔහු ඒ සඳහා වැය කළේ පන්දු 43ක් පමණකි. එම ඉනිමට හතරේ පහර 3ක් සහ දැවැන්ත හයේ පහර 6ක් ඇතුළත් වුණි.

නායක ලේතම් පන්දු 30කින් ලකුණු 20ක් ලබාගෙන ඉවසිලිවන්ත ඉනිමක නොදැවී නිරතව සිටිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 141/10 (19)

නවසීලන්තය 146/1(14.4)

advertistmentadvertistment
advertistmentadvertistment