අයි.එම්.එෆ්. කොන්දේසිවලට යටත් වී අලුත් නීති ගෙනැවිත් වැඩකරන ජනතාව වහලු‍න් බවට පත්කිරීම වහාම හකුළා ගන්නැයි ආණ්ඩුවට බල කරනවා

58

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

වැඩකරන ජනතාව වහලු‍න් බවට පත්කරන අයි.එම්.එෆ්. නියෝග වහාම හකුළා ගන්න ආණ්ඩුවට බල කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඊයේ පැවැතී ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවේදී හේරත් මහතා මෙසේද පැවසීය.

ආණ්ඩුව අයි.එම්.එෆ්. කොන්දේසිවලට යටත් වෙලා මේ රටේ වැඩකරන ජනතාවගේ අයිතීන් කප්පාදු කරගෙන යනවා. ණය ප‍්‍රශස්තකරණය හරහා අර්ථසාධක අරමුදල සහ අනිකුත් සේවක විශ‍්‍රාම අරමුදල් කප්පාදු කරන්න සූදානම් වෙන ආණ්ඩුවේ කම්කරු ඇමැතිවරයා අලු‍ත් පනතක් ගෙනත් වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරන්න සූදානම් වෙනවා. මෙතෙක් කල් වැඩකරන ජනතාවගේ අයිතීන් යම් තරමකින් හෝ තහවුරු කරන්න දායක වුණු අනපණත් 13ක් අහෝසි කර අලූත් නීතියක් හඳුන්වා දෙන්න පිඹුරුපත් සකස් කර තිබෙනවා. වැඩකරන ජනතාවගේ වෘත්තිය අයිතිවාසිකම් තවදුරටත් කප්පාදු කිරීමේ අරමුණින් මේ ක්‍රියාමාර්ගවලට ආණ්ඩුව යොමුවී තිබෙනවා.

ආර්ථිකමය වශයෙන් රටක් බංකොලොත් වී තිබෙන වෙලාවක වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කිරීමයි කළ යුත්තේ. ආර්ථික වශයෙන් දුබල ජනතාවගේ අයිතීන් ආරක්ෂා කළ යුතුයි. නමුත් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම හරහාත් අස්වැසුම හරහාත් හඳුන්වා දෙන්න යන මේ කම්කරු නීති හරහා තවදුරටත් දුප්පත් ජනතාව තලාපෙළීම ආණ්ඩුවේ කාර්යභාරය වී තිබෙනවා. අයි.එම්.එෆ්. යෝජනාවලට යටවුණු ආණ්ඩුව දුප්පත් ජනතාව, වැඩකරන ජනතාව සහ විශ‍්‍රාම අරමුදල් කප්පාදුව හරහා සෑම ක්ෂේත‍්‍රයකම ජනතාව දඩයම් කිරීම ආරම්භ කර තිබෙනවා. වැඩකරන ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් පැය අටේ වැඩ දිනය සතියේ පැය 45ක් දක්වා දීර්ඝ කර, දවසකට පැය 12ක් වැඩ කළ යුතු තත්වයක් නීතිගත කරන්න යනවා. දවසකට පැය 16 දක්වා සේවකයාගේ කැමැත්ත අනුව බව කියමින් වැඩ ගන්න උත්සාහයක් තිබෙනවා. මෙතෙක් සටන්වලින් දිනාගත් අයිතීන්

කප්පාදු කර, 1999 අංක 32 දරන යම් ආයතනයක වෘත්තිය සමිතියක් පිහිටුවීමේ අයිතිය තහවුරු කළ නීතියක් වෙනස් කරන්න යනවා. හාම්පුතාට වෘත්තිය සමිති පිහිටුවීම සම්බන්ධයෙන් බාධා කරන්න බැහැ. එවැනි අවස්ථාවක කම්කරු කොමසාරිස්ට දැනුම් දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඒ ආයතනයේ වැඩකරන ජනතාවට තිබුණා. වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වෙන්න තිබූ මේ අයිතියත් අලු‍ත් පනතින් අහෝසි කරන්න යනවා. ඒ අනුව හාම්පුතාට දැනුම් නොදී හදිසි වෘත්තිය අයිතිවාසිකමක් වෙනුවෙන් ක්‍රියාකිරීම අධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්කරන්න සූදානම් වෙනවා.

වෘත්තිය සමිති පිහිටුවීමේ යාන්ත‍්‍රණයත් දුබල කරන යෝජනා මේ තුළ තිබෙනවා. යම් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට වෘත්තිය සමිතියේ බහුතර සාමාජිකයන්ගේ අනුමැතිය ලබාගත යුතු බවට සංශෝධන නීති ගේන්න යනවා. පාලකයන්ගේ හදිසි අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව ක්‍රියාකරන්න සාමාජිකයන්ගේ ඡන්ද පවත්වලා කල්මරන්න බැහැ. ඒ වගේම කාන්තාවන්ගෙන් වැඩගැනීමේදී පනවා තිබූ සීමාවන් ඉවත් කර, මේ දක්වා ලබාදී තිබූ සියලූ බැඳීම් අහෝසි කරන්න උත්සාහ කරනවා. මේ පනත සම්මත කර ගතහොත් අපේ රටේ වැඩකරන ජනතාව වහල්ලූ බවට පත්කරමින් වහල් වෙළඳාම ස්ථාපිත කරන තත්වයක් ඇති කරන්න යනවා. ඒ නිසා ජාතික ජන බලවේගය විදිහට අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ කම්කරුවන් මර්දනය කර, වහලූන් බවට පත්කරන මේ පනත හකුලා ගන්නා ලෙසයි. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටිමින් මේ පනත වහාම හකුලා ගන්නා ලෙස ජාතික ජන බලවේගයෙ ආණ්ඩුවට බල කරනවා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී – ආචාර්ය හරිනි අමරසූරිය

රනිල් රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන මූලික පදනම් දෙකක් තිබෙනවා. අයි.එම්.එෆ්. නියෝග ක්‍රියාත්මක කිරීමට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ජනතා විරෝධී ලෙස කටයුතු කිරීමත්, වචන හරඹවල යෙදිමත් ඒ මූලික පදනම්. ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කියන එකේදි දේශීය ණය සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය හොඳ උදාහරණයක්. කම්කරු නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කරන්නේත් ඒ ක්‍රියාවලියමයි. මේ කෙටුම්පත ඉදිරිපත් කරන්නේම, ”නිදහස් ආර්ථික පුද්ගලයෙක් ඉන්නවා. ඔහුට හාම්පුතා සමග සමාන තත්වයෙන් කේවල් කිරීමේ හැකියාව තිබෙනවා.” කියන උපකල්පනය මතයි. මෙය ඉතාමත්ම වැරදි උපකල්පනයක්. නොදන්නාකමින් අහිංසකව ඉදිරිපත් කර ඇති බවක් පෙන්වන අතර නව ලිබරල් ආර්ථික ක්‍්‍රමය තුළ බලවතුන් වෙනුවෙන් සියලු‍ වරප‍්‍රසාද ආරක්ෂා කරන්න ගෙන එන පනතක්. නමුත් වගන්ති තුළ ලස්සන සංකල්ප දවටා ඉදිරියට දමනවා. සුරක්ෂිත කළ යුතු පුද්ගලයාගේ අයිතිවාසිකම් කප්පාදු කරන්නේ ඒ පිටුපස සිටයි. ශ‍්‍රම බලකායට ස්ත්‍රීන්ගේ දායකත්වය වැඩිකිරීම සඳහා යෝග්‍ය ආකාරයට පනත ගෙන එන බව, වෙනස් කොට සැලකීමට තිබෙන අවස්ථා ප‍්‍රතික්ෂේප කිරීම වැනි වගන්ති මේ තුළ ඇතුළත් කර තිබෙනවා. ඉතාමත්ම හොඳ ලස්සන වචන තුළ ගහන ගේම මොකක්ද කියලා අපි හරියට පැහැදිලි කර ගන්න ඕනෑ. ඔය වචනවලට අහුවෙන්න එපා. වචන කිහිපයකට අහුවෙලා මේ පනත හොඳ එකක් ලෙස භාරගත්තොත් විශාල වරද්දා ගැනීමක් වෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment