පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට වේත්‍රධාරී නරේන්ද්‍ර ඉටු කළ මෙහෙවර අතිශය ප්‍රශංසනීයයි – කථානායක මහින්ද යාපා අබේවර්ධන

50

ඔහු පෙන්වූ කැපවීම විශිෂ්ට ආදර්ශයක් – අගමැති දිනේෂ් ගුණවර්ධන

ඔහු ඉටුකළේ උත්තුංග සේවයක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දුගේ සේවය ඇගයීමේ යෝජනාව

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට වේත්‍රධාරී නරේන්ද්‍ර ඉටු කළ මෙහෙවර අතිශය ප්‍රශංසනීයයි - කථානායක මහින්ද යාපා අබේවර්ධන

වසර 42කට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කොට එළැඹෙන ජනවාරි 30 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය අගයමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් (24දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළහ.

සම්ප්‍රදානුකූලව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයකු විශ්‍රාම ගන්නා විට ඔහුගේ සේවය ඇගයීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කිරීම සිදුවේ. ඒ අනුව (24 දා) දවසේ විවාදයට ගැණුනු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීමෙන් අනතුරුව ප.ව 6.30 සිට ප.ව 7.30 දක්වා වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය ඇගයීම වෙනුවෙන් පැයක කාලයක් වෙන් කෙරිණි.

මේ අනුව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ විශිෂ්ට සේවය අගයමින් අදාළ යෝජනාව සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වෙනුවෙන් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉටු කළ මෙහෙවර අතිශය ප්‍රශංසනීය බවයි. කොවිඩ් තත්ත්වය ඇතුළු පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වූ සෑම අවස්ථාවකම එතුමා ඉටු කළ සේවය අනභිභවනීය බව කථානායකවරයා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙන්වූ කැපවීම විශිෂ්ට ආදර්ශයක් බවයි. එදා ගාලු මුවදොර පාර්ලිමේන්තුවට බැඳුනු ඒ මහතා වසර 42ක් තරම් දීර්ඝ සේවා කාලය තුළ විවිධ අභියෝගයන් සාර්ථකව ජයගත් බව අගමැතිවරයා පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතය පැවති කාල වකවානුවේදී පාර්ලිමේන්තු කටයුතු ආරක්ෂාකාරීව පවත්වාගැනීම සඳහා එතුමා සිදුකළ කැපකිරීම අමතක කළ නොහැකි අනභිභවනීය සේවාවක් බව අගමැතිවරයා පැවසීය. මන්ත්‍රීවරුන්ට පැමිණීමට හෝ පිටවීමට නොහැකි අර්බුදකාරී අවස්ථාවකදී පාර්ලිමේන්තුවට ආරක්ෂාව සපයමින් එතුමා දැක්වූ දායකත්වය ද අගමැතිවරයාගේ ඇගයීමට ලක්විය.

එසේම මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ සෑම ක්ෂේත්‍රයකම දක්ෂයෙක් වන නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිය සේවා කාලය තුළ විවිධ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් ඉටුකළ උත්තුංග සේවාව ප්‍රශංසනීය බවයි.

අනතුරුව පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය අගයමින් එතුමාට සුබ පැතුම් එක් කළහ. ඉතා ඍජු මෙන්ම මෘදු ගුණාංගයන් තුළ පිහිටා අපක්ෂපාතීව කටයුතු කළ එතුමාගේ සේවය අගය කළ යුතු බව ඔවුහු පෙන්වා දුන්හ.

කොළඹ වැල්ලවත්තේ දී උපන් නරේන්ද්‍ර මිහිඳුකුමාර ප්‍රනාන්දු මහතා කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන ලද අතර මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වාණිජවේදී උපාධිය ඉන්දියාවේදී හදාරා තිබේ.

පාර්ලිමේන්තුවේ සහකාර හැන්සාඩ් සංස්කාරකවරයකු වූ සිය පියා අනුව යමින් 1981දී ලිපිකරුවකු ලෙස පාර්ලිමේන්තු සේවයට එක් වන ප්‍රනාන්දු මහතා පුරා වසර 20ක කාලයක් පාර්ලිමේන්තුවේ පරිපාලන දෙපාර්තමේන්තුවට අයත් කාර්යාල ගණනාවක සේවය කළේය. 2000 වසරේදී සහකාර වේත්‍රධාරී ධුරයට පත් වන ප්‍රනාන්දු මහතා 2002දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය වේත්‍රධාරී ධුරයට පත් විය. ඒ මහතා 2018 සැප්තැම්බර් 01 වැනි දින පාර්ලිමේන්තුවේ හයවැනි වේත්‍රධාරීවරයා ලෙස පත් විය.

වසර 5 කට අධික සිය සේවා කාලය තුළදී පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා ලෙස පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා ප්‍රනාන්දු මහතා අභියෝග රැසකට මුහුණ දුන්නේය. ඒ අතර දින 52 ආණ්ඩු වෙනස් වීමේදී මුහුණදුන් අභියෝග සාර්ථකව ජය ගැනීම, කොවිඩ් වසංගත සමයේ පාර්ලිමේන්තු රැස්වීම් බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සහ එන්නත් ලබා දීමට අවශ්‍ය කටයුතු ඉටු කරමින් මන්ත්‍රීතුමන්ලාගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුබසාධනය සැලසීම, පසුගිය අරගල සමයේ පාර්ලිමේන්තු සංකීර්ණය ආරක්ෂා කිරීම දැක්විය හැකිය.

1992 – 2010 වසර වලදී පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඇති වූ ගංවතුර තත්වයන් පාලනය කිරීම සඳහා කටයුතු කිරීම, 1987 පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාර සිද්ධියේ දී එවකට කථානායක තුමාගේ පෞද්ගලික සහකාර ලෙස සේවය කරමින් සිටින අවස්ථාවේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 1995 සහ 2014 යන වසරවලදී කොළඹ පැවති වාර්ෂික සමුළුවල සංවිධාන කටයුතුවලදී ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස කටයුතු කිරීම නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය තුළදී විශේෂ අවස්ථාවන් වේ.

එයට අමතරව ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුමක් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට සහ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධව පැවති දුර්වලතා මගහරවා ශක්තිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමට ප්‍රනාන්දු මහතා වේත්‍රධාරීවරයා ලෙස පියවර ගත්තේය.

වෘත්තීය සුදුසුකම් ලත් ගණකාධිකාරීවරියක වන තුෂාන්ති ප්‍රනාන්දු සමග විවාහ වී සිටින ප්‍රනාන්දු මහතාගේ එකම පුත් අනුජ ප්‍රනාන්දු මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටී.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment