හිස ගසා දමන අත පය කපන දැඩි දඬුවම් තිබුණාට…අරාබියත් සලිත කළ අලුත්ම මත් පෙත්ත කැප්ටxx

1674

ලෝක පුරා ඉක්මන් ව්‍යාප්තියක්

සියලුම මත්ද්‍රව්‍යවලට වඩා දරුණුයි!

දකුණු යුරෝපයේ නිෂ්පාදනය කර තුර්කිය හරහා අරාබියට

අප ඉකුත් සතියේ කතා කළේ තොටළඟ පමණක් නොව මාරාන්තික මත් විෂෙන් අහල පහළ ප්‍රදේශ රැසක් වනසමින් අද තොටළඟ ප්‍රදේශයේ රජ කරන කුඩු පොඩ්ඩී සහ කුඩු කුමාරි නොහොත් සුද්දී ඇතුළු ජාවාරම්කරුවන් හා ජාවාරම්කාරියන් පිරිස ගැනය. දීර්ඝ හෙළිදරව්වක් එහිදී සිදු කළද තවමත් තොටළඟ පොඩ්ඩී සහ කුඩු කුමාරි ඇතුළු පිරිස නිරුපද්‍රිතය. අත පොවන මානයේ මට්ටක්කුලිය සහ ග්‍රෑන්ඩ්පාස් නමින් පොලිසි දෙකක් තිබුණද සිදුවන හා කරන දෙයක් නැත.

තොටළඟ පොඩ්ඩී සහ කුඩු කුමාරි ඉදිරියේ පොලිසියේ සමහර ලොකු අයගේ දෙපා වෙව්ලීම සහ එනිසා පොඩ්ඩන්ට කරකියාගත හැකි දෙයක් නොමැති වීම එයට හේතු වී තිබේ දැයි අපි නොදන්නෙමු. එසේ නැතිනම් තොටළඟ පොඩ්ඩී සහ කුඩු කුමාරි ඇතුළු පිරිස ඉදිරියේ පොලිසිය නිහඬව සිටින්නේ යම් දේශපාලන බලපෑමක් හේතුවෙන්ද වන්නට පුළුවන.

ශ්‍රී ලංකා පොලිසිය යනු මේ රටේ දේශපාලනය අනුව එතරම්ම අවාසනාවන්ත ආයතනයකි. ඒ රාජකාරිය ඉතාම දුෂ්කරය. ඔවුන් කරනා කැපකිරීම් ඉතා විශාලය. එහෙත් ඒ පිළිබඳ දේශපාලනඥයාට වගේ වගක් නැත. එවන් වටපිටාවක් තුළ රාජකාරි කරන පොලිස් නිලධාරියා අවාසනාවන්ත නොවේද?

තොටළඟ කුඩු ජාවාරම් ඉදිරියේ පොලිසියේ නිහඬ බවට හේතුව දේශපාලනය යැයි අනුමාන කරන්නට අපට සිදු වන්නේ තොටළඟ පොඩ්ඩී සහ කුඩු සුද්දී පසුගිය මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සමහර දේශපාලනඥයන්ට අත දිගැහැර වියදම් කළ බව ඒ කාලයේ වාර්තා වූ නිසාය. එහිදී වීසි කර තිබුණේ රුපියල් ලක්‍ෂ විසිපහේ, තිහේ මුදල් මිටිය. හෙරොයින් මත් කුඩු සහ අයිස් ඇතුළු මෙරට මත්ද්‍රව්‍ය ජාවරම පිළිබඳ කියැවෙන තිත්තම තිත්ත ඇත්ත කතාව එවැන්නක්ව තිබියදී අද අප ජීවත් වන මේ පුංචි දිවයින පවතින්නේ මොනතරම් තීරණාත්මක තැනකද?

ඇත්තටම එය තිබෙන්නේ ඉතා භයානක තැනකය. රටේ තරුණ පරපුරේ අනාගතය මත් රකුසා ඉදිරියේ සිතාගත නොහැකි තරම් කාලකණ්ණි ඉරණමකට ගොදුරුවන තැනට හැම දෙයක්ම සිදුවෙමින් ඇත. නිකමටවත් පෙනෙන්නට නැත්තේ ඒ ගැන සොයා බලා රට වෙනුවෙන් යමක් කරන්නට ඉදිරිපත් වන වගකිවයුත්තන් ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දේශපාලනඥයන්ගේ මැතිවරණ ව්‍යාපාරවල සුපිරි අනුග්‍රාහකයන් වී සිටින්නේ එකී වගකීම් විරහිත බව නිසා නොවේද? මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රටේ තාරුණ්‍ය මතට ගොදුරුකර ගැනීමෙන් නොනැවතී මේ වන විට පාසල් දරුවන් පවා එයට ගොදුරු කරගන්නා තැන දක්වාම ගමන්කර ඇත්තේ මේ නිසා නොවේද?

රටට ඇතුළු වූ මත් පෙති තුරුළට ගත් අපේ තරුණියෝ නයිට් පාටිවලදී අයිස් වතුර පානය කරමින් පදමට නටා අවසානයේ සිය පාරිශූද්ධත්වය කෙලෙසා ගනිමින් වැනසෙන අයුරු මීට වසර ගණනාවකට පෙර වරක් අපි රටට හෙළි කළෙමු. එහිදී බලධාරීන් කලබල විය. හතර අතට නයිට් පාටි වැටලීය. ඒ වන විට සිදුවිය යුතු සියල්ල සිදුවී අවසන්ව තිබිණි. කාලයත් සමඟ වැටලීම් නතර වෙමින් සියල්ල සාමාන්‍යකරණය විය. අදටත් රාත්‍රි සමාජ ශාලා සහ රහසේ පැවැත්වෙන නයිට් පාටිවලදී රටේ තාරුණ්‍යය පෙර පරිදිම වැනසී යන්නේය. නින්ද නොයන ඖෂධයක් සේ අඟවා උපකාරක පන්ති ජාලය ඔස්සේ මාරාන්තික මත්ද්‍රව්‍යයක් වන අයිස් රටේ පාසල් දරුවන් අතට පත් කරන්නට ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වූ අන්දම මීට මාස තුන හතරකට පමණ ඉහතදී ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ඔස්සේ අපි රටට කීවෙමු.

එහිදීත් සියල්ල තිබුණේ අතිශය ප්‍රමාද වූ තැනකය. පාසල් අසලට ගිය පොලිසිය දරුවන්ගේ බෑග් පරීක්‍ෂා කරමින් සැඟවුණ ‘මත’ සොයන්නට වූයේ ජපනා පිස්සන් කොටුවට බෝම්බ දැමුවාක් පරිදිය. එදා සතුරා පසෙක සිටියදී ජපනා බෝම්බ දැම්මේ පිස්සන් කොටුවටය. මත් ජාවාරමුන් රහසේ පාසල් දරුවන් බිලි ගනිද්දී පොලිසිය දරුවන්ගේ බෑග් පරීක්‍ෂා කිරීමෙන් කළේ එවැන්නක් නොවේද? පොලිසිය එසේ ක්‍රියාත්මක වෙද්දී ජාවාරමුන් සුවසේ වැඩේ කරගෙන ගියේය. වගකිවයුත්තන් පාසල් වටේට බුද්ධි අංශද දැම්මේය.

හිස ගසා දමන අත පය කපන දැඩි දඬුවම් තිබුණාට…අරාබියත් සලිත කළ අලුත්ම මත් පෙත්ත කැප්ටxx

එහෙත් අදටත් පාසල් දරුවන්ගේ අතට නින්ද නොයන බෙහෙත ලැබෙන්නේය. පෙත්තද එසේමය. කරන වැටලීමකදී අහම්බෙන් එකකු දෙන්නකු අල්ලා ගත්තද වැඩිදුර සොයා යෑමක් නැත. අල්ලාගත් එකා හිරේ යවා ෆයිල් එක වසා දැමෙන්නේය. එනිසා දැන් එයද සාමාන්‍යකරණය වෙමින් ඇත. මාරාන්තික මත්ද්‍රව්‍යයක් වූ අයිස් පිළිබඳ මීට වසර හත අටකට ඉහතදී ‘දිවයින ඉරිදා සංග්‍රහය’ මුල් වරට රටට හෙළි කරනු ලැබුවේ අයිස් පාකිස්තානයේ තිබියදීය. අප ඒ හෙළිදරව්ව කරනු ලැබුවේ අයිස් මාරයාට ලංකාවට ඒමට ඉඩක් නොතබන ලෙස බලධාරීන්ගෙන් කළ පැහැදිලි ඉල්ලීමක්ද සමඟය.

එහෙත් කවුරුත් මර නින්දේ සිටියදී මත් ජාවාරම්කාරයෝ අයිස් මාරයා මෙරටට රැගෙන ආහ. වතුරේ ගියේ අප ගත් උත්සාහය ය. හෙරොයින් මත්කුඩු, අයිස්, පිල්, සහ පෙති ආදී වශයෙන් වූ නානා ප්‍රකාර මත්ද්‍රව්‍ය තොග පිටින් මෙරටට රැගෙන ඒමට ජාවාරම්කරුවන් ක්‍රියා කරද්දී ශ්‍රී ලංකාවේ ක්‍රමවේදයන් තිබුණේ එවැනි බොල් වූ, හිල් වූ සහ වල්බිහිවූ තැනකය. අදටත් එය එසේම ය. මත් ජාවාරමට එරෙහි අපේ වැඩපිළිවෙළ එවන් තැනක තිබියදී අයිස් මාරයා ඇතුළු මතට ගොදුරු වූ ඇවිදින ඇටසැකිළි බඳු රටේ තරුණ ජීවිත සුරලොව පාවෙමින් මහමඟ කිරද්දී දැන් ලෝකයේ අලුත්ම මාරයා වී තිබෙන්නේ කුමක්ද?

මේ කෙරෙන්නේ රටේ බලධාරීන්ට නින්දෙන් ඇහැරී දෑස් හැර බලන්නට කෙරෙන සුවිශේෂී හෙළිදරව්වකි. අපි එයට ‘කැප්ටන්’ යැයි කියමු. කැප්ටන් යනු එහි නියම හැඳින්වීම නොවේ. එය නිවැරදි නාමයට ඉතා සමීප අන්වර්ථයකි. මත්ද්‍රව්‍ය ප්‍රචාරණය අපේ අරමුණ නොවන නිසා අපි එසේ කරන්නෙමු. කවුරුත් දන්නා පරිදි අරාබි ලෝකය යනු මත්ද්‍රව්‍යයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක භූමියකි. අරාබි ලෝකයේ මත තහනම්ය. මත්ද්‍රව්‍ය භාවිතය හෝ ජාවාරම් කර හසු වුවහොත් ලැබෙන දඬුවම් ඉතා බරපතළය. සෞදි අරාබිය ඇතුළුව ඇතැම් අරාබි රාජ්‍යයන්හිදී එයට දඬුවම් ලැබෙනුයේ ෂරියා නීතිය අනුවය. එහෙත් එවන් තත්ත්වයක් අරාබි ලෝකය තුළ තිබියදී මේ වන විට සිදුව තිබෙන්නේ කුමක්ද? දැඩිව ෂරියා නීතිය ක්‍රියාත්මක සෞදි අරාබියේ වයස අවුරුදු 14 – 22 ත් අතර දරුවන් පවා ‘කැප්ටන්’ ලෝලීන්ව සිටී. ඒ බව වාර්තා කරනුයේ ජාත්‍යන්තර මාධ්‍ය මගිනි. පැහැදිලිව කිවහොත් ‘කැප්ටන්’ අද අරාබි ලෝකය දැඩි ලෙසින් වනසා ඇත.

මේ ‘කැප්ටන්’ යනු කුමක්ද? එය මුලදී මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධයක් ලෙසින් නිපදවූවකි. එහෙත් එහි ඇති අධි ඇබ්බැහිකාරක තත්ත්වය සහ මධ්‍ය ස්නායු පද්ධතියට එල්ල වන ප්‍රහාරය හමුවේ අසූව දශකයේදී පමණ එය තහනම් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක් ක්‍රියා කළේය. එතැන් සිට සිදුව ඇත්තේ දකුණු යුරෝපයේ රහසිගතව නිපදවුණු කැප්ටන් අරාබි වෙළෙඳපොළ වෙත ළඟා වීමය. මුල්ම කතාව එය වුවද අද ‘කැප්ටන්’ නිෂ්පාදනයේ පෙරමුණේ සිටිනුයේ සිරියාව සහ ලෙබනනය යන රටවල් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව පෙනී යන්නකි.

එහිදී සිරියාව ඇත්තේ ‘කැප්ටන්’ නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට පත්වය. මැදපෙරදිග ධනවත් තරුණ ප්‍රජාව අතර බොහෝ ජනප්‍රිය මත්ද්‍රව්‍යයක් වන ‘කැප්ටන්’ ඇම්ෆෙටමින් වර්ගයේ උත්තේජකයක් බවද සඳහන්ය. ‘කැප්ටන්’ දීර්ඝ කාලයක් භාවිතයේදී අධික මානසික අවපීඩනය, උදාසීනත්වය, නින්ද නොයෑම, හෘදයේ සහ රුධිර වාහිනි විෂ වීම වැනි භයානක තත්ත්වයන්ට ගොදුරු වන බවද මේ වන විට පර්යේෂකයන් අනාවරණය කරගෙන ඇත. වර්තමාන ‘කැප්ටන්’හි විශේෂත්වය බවට පත්ව ඇත්තේ සිරියාව සහ ලෙබනනය වැනි රටවල එහි මුල් සංයුතියට සමාන ද්‍රව්‍ය එක්කරමින් ව්‍යාජව නිෂ්පාදනය වීමය. ‘කැප්ටන්’ නිෂ්පාදනයේ ප්‍රමුඛයා සිරියාව බවට අනාවරණය වීම හමුවේ අරාබි ලීගය විසින් දැනටමත් මේ සම්බන්ධයෙන් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් දැඩිව චෝදනා එල්ල කිරීමටද පියවර ගෙන ඇත.

එහෙත් අනාවරණය වී ඇති නවතම තොරතුරු අනුව කියැවෙන්නේ සිරියානු හමුදාවේ බලගතුම ඒකකයක් විසින් සිරියා ‘කැප්ටන්’ ජාවාරම මෙහෙයවමින් සිටින බවකි. මෙම මත් මාරයා නිෂ්පාදනය කර බෙදා හැරීමෙන් සිරියාව මේ වන විට උපයා ගන්නා වාර්ෂික අදායම ඩොලර් බිලියන 57 කි. එය මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරමුන් වාර්ෂිකව උපයා ගන්නා ආදායම මෙන් තුන් ගුණයක් විශාල ධනයකි. එහෙත් බලධරයනි තවමක් මේ මාරයා ශ්‍රී ලංකාවට පැමිණ නැත. කාගේත් වගකීම විය යුත්තේ එය මෙරටට ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා උපරිම පියවර ගැනීමය.

රට තුළ පවතින තත්ත්වය හමුවේ එය සිදුවනු ඇතිද? කිසිසේත්ම ඒ පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකිය. හෙරොයින් ජාවාරමටත් වඩා මුදල් ගලන ජාවාරමක් බවට පත්ව ඇති ‘කැප්ටන්’ ජාවාරමට මෙරට මත්ද්‍රව්‍ය ඒජන්තයෝ අත නොතබනු ඇතැයිද කිසිසේත්ම විශ්වාස කළ නොහැකිය. එම තත්ත්වය තළ මේ වන විට අරාබි ලෝකය සුණු විසුණු කර ඇති ‘කැප්ටන්’ ශ්‍රී ලංකාවටත් ළඟා වනු ඇතිද? අතිශය මාරාන්තික මත්ද්‍රව්‍යයක් ලෙසින් හඳුනාගෙන ඇති එය මෙරට තරුණයන් අතට පත් වුවහොත් අපි කුමක් කරමුද? අප මේ මොහොතේ එකී ප්‍රශ්නය විමසා සිටිනුයේ මාරයා ළඟා වීමට පෙර අවශ්‍ය පියවර ගැනීම සඳහා අදාළ බලධාරීන් දැනුවත් කරනු පිණිසය. එහෙත් ඒ පිළිබඳ ක්‍රියාත්මක වීම කෙබඳු එකක් වේදැයි රට තුළ පවතින තත්ත්වය අනුව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි තැනකට රට ගමන් කර අවසන්ය. කැප්ටන්හි කතාව එසේ වෙද්දී මේ වන විට මෝදර මට්ටක්කුලිය මත් ජාවාරමේ කතාව ඇත්තේද බොහෝ දුරදිග ගොසිනි.

සමිට්පුර රොෂාන්, අලිවත්තේ ප්‍රදීප්, මියගිය චූටි උකුංගේ සොහොයුරා වන ප්‍රියංකර, මෝදර වෙළබඩ නිපුන, වැල්ලේ සාරංග, වැල්ලේ සුරංග, කිඹුළාඇළ ගුණාගේ මස්සිනා වන පොඩි සුරේෂ් ආදී වශයෙන් ප්‍රසිද්ධ සහ ප්‍රබල චරිත කිහිපයක්ම ඒ අතර වන්නේය. අද දවසේ මට්ටක්කුලිය ප්‍රදේශයේ ඝාතන රැල්ලකට හේතු වී තිබෙන්නේ මත් ජාවාරම හේතුවෙන් ඇතිවූ වැල්ලේ සාරංග සහ වැල්ලේ සුරංග අතර වන ගැටුමය. මට්ටක්කුලිය මෝදර කුඩු ජාවාරමද අද වන විට ප්‍රංශයේ සිටින රූබන් දක්වා විහිදී ගොස් ඇති අතර සේදවත්තේ කසුන් සහ නිපුන එහි ප්‍රබලයන් වී සිටින බවද පොලිස් වාර්තා අනුව පෙනී යන්නේය.

තවත් මත් මාරයෙක් අරාබි ලෝකය සොලවමින් තිබියදී අද සන්නද්ධ ගැටුම් සමඟ මෝදර මට්ටක්කුලිය කුඩු ජාවාරම මහා පරිමාණයෙන් ඉදිරියට ඇදෙමින් තිබෙන්නේ මේ කියන පිරිසගේ ඍජු සබඳතා මතය. මේ අතරින් බහුතරයක් දෙනා විදේශ රටවලට පැන ගොස් මෙරට තුළ ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරමින් සිටින බවද පොලිසිය සඳහන් කරන්නේය. මෙහිදී මට්ටක්කුලිය පොලිසියේ ඇතැමුන්ගෙන් කුඩු ජාවාරමුන්ට විශේෂ වරප්‍රසාද හිමිවී තිබෙන බව අනාවරණය කරනුයේ පොලිසියේ අයමය. තත්ත්වය එය නම් හෙට දිනයේ මේ ජාවාරමුන් විසින් ‘කැප්ටන්’ රටේ තරුණයන් අතට ගෙන නොදෙනු ඇතිද?

පැතුම් රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment