ස්වෛරීත්ව බැඳුම්කර ආයෝජන ගැන ජනාධිපති කොමිසමක් පත් කරන්න – කබීර් හෂීම් (සජබ)

76

සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණයට ස්වාධීන ආයතනයක් තිබිය යුතුයි – එරාන් වික්‍රමරත්න (සජබ)

රට බංකොලොත් වීමේ පසුබිම සහ ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ආයෝජනය කළ පිරිස් ගැන විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, ඒ සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි නැවත වතාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවැසීය.

එමෙන්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ සිදුවන බව එහි සඳහන් කර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට වන යෝජනාවක්ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවේ තිබෙන බවත් ඒ මහතා කීය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (13දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ කබීර් හෂීම් මහතා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාවට ණය දුන්න ස්වෛරී බැඳුම්කර ලබාගත් සිය ගණනක් ජාත්‍යන්තර වෙළඳපොලේ සිටියදී හැමිල්ටන් රිසව් බැංකුව පමණක් ශ්‍රී ලංකා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට එරෙහිව නඩු දානවා. ඒ බැංකුවේ අයිතිකරුවන් හිටපු මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් සමඟ කතාකර තිබෙන බවත්, හැමිල්ටන් රිසව් බැංකුවෙන් ශ්‍රී ලංකාව ලබා ගන්නා ස්වෛරී බැඳුම්කර කිසිම දවසක නොගෙවා සිටින්නේ නැති බව නිවාඩ් කබ්රාල් එම බැංකුවේ නිලධාරීන්ට සහතික කර තිබෙනවා. ස්වෛරී බැඳුම්කරවලට 2022 ජනවාරි මාසයේ ඩොලර් මිලියන 500 ක් ආපසු ගෙව්වා. රටේ විදේශ විනිමය නැති කාලයේ ඒ ණය ගෙව්වේ.

නිවාඩ් කබ්රාල්, පී. බී. ජයසුන්දර, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුව නොමඟ යවමින් කිව්වා ඇති තරම් ඩොලර් ලැබෙනවා, ණය ගෙවා ගන්න ප්‍රශ්නයක් නෑ කියලා. රට බංකොලොත් කිරීමට මාර්ගය සකස් කළ ඒ ආර්ථික ඝාතකයන් පිළිබඳ සැක සහිතයි. හැමිල්ටන් රිසව් බැංකුව සහ අජිත් නිවාඩ් අතර තිබෙන සම්බන්ධය ගැන පුවත්පත් වාර්තා කරලා තියෙන දිහා බැලුවම ඒ සැකය තහවුරු වෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ සිදුවන බව සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට වන යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවේ තියෙනවා. රට බංකොලොත් වීමේ පසුබිම සහ ස්වෛරී බැඳුම්කර සඳහා ආයෝජනය කළ පිරිස් ගැන විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, ඒ සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත් ජනාධිපතිවරයාට දැනුම් දුන්නා.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා මෙසේ පැවැසීය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ පාලනය පිළිබඳව, දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම පිළිබඳව, නීතියේ පාලනය පිළිබඳව කතා කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය හදන්න යනවා නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවම රාජ්‍ය පාලනය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරලා නෑ. නමුත් රාජ්‍ය පාලනය පිළිබඳ ලංකාවේ සිවිල් සමාජ සංවිධාන ඔවුන්ගේ වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. ලංකාවේ ඉන්න දක්ෂ සිවිල් සමාජ සංවිධාන රාජ්‍ය පාලනය පිළිබඳ සොයා බලා කරුණු ඉදිරිපත් කරන එක හොඳ දෙයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියනවා ලංකාවේ සිවිල් සමාජ සංවිධාන ඉදිරිපත් කළ වාර්තා පිළිබඳවද සලකා බලන්න කියලා. රජයේ නීතිඥවරයා වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවයි. ඒ නිසා ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් තියෙන්න ඕන. ආණ්ඩු මාරු වුණත් නැතත් ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් තිබීම අත්‍යවශ්‍යයි.

ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් නොමැති නිසා නීතිපති දෙපාර්තමේන්තුව කොච්චර නඩු දැම්මත් වැඩක් නෑ ආණ්ඩු මාරු වෙනකොට ඒ නඩු අස්කර ගන්නවා. ඒ ස්වාධීන නැති නිසා. අර්ථ සාධක අරමුදල පාලනය කරන්නේ මහ බැංකුව. අර්ථ සාධක අරමුදල අයිති මහ බැංකුවට නෙවෙයි මේ රටේ වැඩ කරන ජනතාවට. මහ බැංකුව තිබෙන්නේ භාරකාරත්වයක් පමණයි. ඒ අරමුදලේ අයිතිය තිබෙන්නේ වැඩ කරන ජනතාවට. අඩුම පොළියට ණය අවශ්‍ය බව මුදල් ඇමැතිවරයා සහ ආණ්ඩුව කියනවා. එතකොට මහ බැංකුව ණය වැඩියෙන්ම ගන්නේ සේවක අර්ථසාධක අරමුදලෙන්. අපි කියන්නේ සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීමේ ස්වාධීන ආයතනයක් තිබිය යුතුයි.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment