ගම්පහදී ඩෝප් පිට බස් පැදවූ රියැදුරුට අත්හිටුවූ සිර දඬුවම්

368

ගම්පහ නගරයේ පිහිටි පාසල් දිවා කාලයේ අවසන් වී තිබියදී මහා මාර්ගයේ සිටින පාසල් දරුවන්ගේ සහ මහජනතාවගේ ජීවිතවලට අන්තරාදායක වන අයුරින් බීමත්ව පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීම ඇතුළු චෝදනා හතරකට වරදකරු වූ එම බස් රථයේ රියැදුරුට වසර පහකට අත්හිටුවූ බරපතළ වැඩ ඇතිව මාස හයක සිරදඬුවමක් ගම්පහ මහෙස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය විසින් ඊයේ (13) නියම කරන ලදි.

රුපියල් 60000 ක දඩයක් ද නියම කෙරුණි.

එම රියදුරුගේ රියදුරු බලපත්‍රය මාස හයක කාලයකට අත්හිටුවන ලෙසට ද නියම විය.

ගම්පහ කිරිඳිවැල ප්‍රධාන මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක රියැදුරු ලෙස කටයුතු කෙරූ කිරිඳිවැල, රදාවාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නවරත්න කුමාරලාගේ නලින් දර්ශන නමැති රියදුරුට මෙසේ නියම කෙරුණි.

කිරිඳිවැල සිට ගම්පහ බලා මගීන් ප්‍රවාහනය කළ පුද්ගලික බස් රථය ගම්පහ නගරයට ආසන්න වන විට මාර්ගය අවහිර කරමින් මගීන් බස් රථයට ගොඩ කර ගැනීම සහ බැස්සවීම සිදුකළ බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. එම අවස්ථාවේ මාර්ගයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් රියදුරුට බස් රථය අයින් කර නවතන ලෙසට සංඥා කර ඇති බව පොලිසිය පවසයි. පොලිස් නිලධාරීන් සිදුකළ එම සංඥා සහ උපදෙස් පිළිනොගෙන පොලිස් අණ නොතකා පාසල් දරුවන්ගේ සහ ජනතාවගේ ජීවිතවලට අන්තරාදායක වන අයුරින් දකුණු මංතීරුවේ බස් රථය ධාවනය කරමින් පලා ගොස් ඇති බව පොලිසිය කියයි. පොලිස් නිලධාරීන් පොලිස් යතුරු පැදිවලින් බස් රථය පසුපස ලුහුබැඳ ගොස් ගම්පහ නගරය ආසන්නයේ දීම බස් රථය නවතා රියදුරුගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කරන අවස්ථාවේ සැකකරු බීමත්ව සිටින බවට අනාවරණය වූ බව පොලිසිය කීය. සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් සිදුකළ ස්වසන නළ පරීක්ෂාවේදී රියදුරු බීමත්ව සිටින බවට සනාථ වූ බව ද පැමිණිල්ල මෙහෙයවමින් ගම්පහ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී. පී. අනුරුද්ධ සහ සැරයන් සංජීව පෙරේරා (35045) යන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.
මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment