ගැබ්ගෙල පිළිකා වළකන එන්නත රටේ නෑ – වෛද්‍ය චමල් සංජීව

53

ප්‍රතිශක්තිකරණ වැඩසටහන ඇනහිටී

ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා ගැහැනු දරුවන්ට ලබාදෙන ‘හියුමන් පැපිලෝමා’ වයිරස එන්නත රටේ නොමැතිවීමෙන් එම ප්‍රතිශක්තිකරණ වැඩසටහන පූර්ණ ලෙස ඇනහිට ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

කාන්තාවන් තුළ පසුකාලීනව ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම පහත හෙළීම සඳහා මෙම එන්නත ලබාදීම ඉතා වැදගත් වන බවත්, සාමාන්‍යයෙන් හය ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ගැහැනු දරුවන් සඳහා මෙම එන්නත ලබාදීම සිදුකරන බැවින් පසුගිය වසරේදී ද එය ලබාදීමට ක්‍රියා නොකිරීමෙන් ලබන වසර වන විට එන්නත ලබාගැනීමට අපේක්ෂා කරන දරුවන් ප්‍රමාණාත්මකව වැඩිවීම ගැටලුවක් බවට පත්වන බවත් එම සන්ධානය කීය.

‘හියුමන් පැපිලෝමා’ එන්නත් සඳහා පුද්ගලයාගේ වයස සහ ප්‍රතිශක්තිකරණ තත්ත්වය අනුව මාත්‍රා දෙකක් හෝ තුනක් ලබාදෙන බවත් වයස අවුරුදු නවයේ සිට දහතුන දක්වා ගැහැනු දරුවන්ට එන්නත් සාමාන්‍ය ලෙස නිර්දේශ කිරීමෙන් අවම වශයෙන් වසර 05 සිට 10 දක්වා ආරක්ෂාව සැපයෙන බවත් එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා සඳහන් කරයි.

‘හියුමන් පැපිලෝමා’ වයිරස එන්නත ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට පවතින ගැටලු වහා නිරාකරණය කර එන්නත ලබාදීමේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධානය යොමු කළ යුතු බවද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment