ඇෆ්ගනිස්තානය පළමු සටන ජය ගනී

214

මුල් පෙළ පිතිකරුවන් අසාර්ථකත්වයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 268 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවද සංචාරක ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ පන්දු වාර 46 පන්දු 5 ක් තුළදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

ඒ අනුව තරග තුනකින් යුත් තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ක්‍රීඩකයෝ ඊයේ (02 වැනිදා) දිනයේ දී සමත් වූහ.

මෙම ජයග්‍රහණය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ලද තෙවැනි ජයග්‍රහණය වන අතර ඔවුන්ගේ තරග ඉතිහාසයේ ලකුණු හඹා ගොස් ලද හොඳම දෙවන ජයග්‍රහණය වේ.

ජයග්‍රාහී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඉබ්‍රහිම් සර්ධාන් පන්දු 98 කදී ලකුණු 98 ක් ලබාගත් අතර හයේ පහරකින් ශතකය රැස් කරන්නට ගිය සර්ධාන් ගේ ඉනිම කසුන් රාජිත ගේ පන්දු හමුවේ අවසන් වූයේය.

ඒ වන විට රහමත් අලි සහ සර්ධාන් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 149 ක සම්බන්ධතාවයක් ගොඩනැඟී තිබුණු අතර සර්ධාන්ගේ ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර දෙකක් අන්තර්ගත විය.

සර්ධාන් ට වඩා ඉවසිලිවන්ත ඉනිමක් දියත් කළ රහමට් ශා ගේ ඉනිම ලකුණු 55 ක් ලෙස සටහන් විය.

පන්දු 80 ක් තුළදී ලකුණු 55 කට රහමට් දැවී ගියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ එක් දින ජාත්‍යන්තර තරග වරම් දිනා ගත් මතීෂ පතිරණ ගේ මංගල කඩුල්ල ලෙසිනි. පතිරණ විසින් මැද කෙටී එන අයුරින් යොමු කරන ලද පන්දුවට රහමට් එල්ල කළ පහර උඩපන්දුවක් ලෙස රැක ගැනීමට ධනංජය ද සිල්වා සමත් වූයේය.

ඇෆ්ගනිස්ථාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස රහමනුල්ලා ගුර්බාස් ලකුණු 14 කට දවාගැනීමට ළහිරු කුමාර සමත් වූ අතර ඉනිමේ මැද භාගයේ දී ආබාධයක් හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් වනු දක්නට ලැබිණ.

පළමු පන්දුවාර 10 අවසන් වීමට මත්තෙන් දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස්ගේ කඩුලු දවා ගත් ෆසල්හක් ෆරුකි ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බිඳ දැම්මේය. මොවුන් දෙදෙනා දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 38 ක් ලෙසින් සටහන්ව තිබිණ. එම පීඩනයත් සමඟම පවර් ප්ලේ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 44 කට ඇද බැඳ තබා ගැනීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට හැකියාව ලැබිණ.

ඇෆ්ගනිස්තානය පළමු සටන ජය ගනී

චරිත් සහ ධනංජය දෙදෙනා පිටියේදී මුණ ගැසෙන විට ශ්‍රී ලංකා ඉනිමේ ක්‍රියාත්මක වෙමින් පැවැතියේ 20 වැනි පන්දුවාරයයි. සිය අත්දැකීම් එක්දින තරග පිටියට උකහා ගැනීමේ බලාපොරොත්තු ඇතිව දිමුත් සහ මැතිව්ස් දෙදෙනාව යොදා ගත්ත ද ඔවුන්ට තේරීම් කමිටුවේ බලාපොරොත්තු ඊයේ තරගයේදී සඵල කර දීමට නොහැකි විය. පැතුම් නිස්සංක ද 20 වැනි පන්දුවාරයේ දැවී යෑමෙන් පසු එක්වූ ධනංජය සහ චරිත්ගේ ලකුණු 99 ක සම්බන්ධතාව සඳහා වැය වී තිබුණේ පන්දු 107 ක් පමණි.

ගාල්ල රිච්මන්ඩ් විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව එකම කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර පිටියට පැමිණ සිටින දකුණත් සහ වමත් පිතිකරුවන් යුගළේ සම්බන්ධතාවය ධනංජය ද සිල්වා එල්ල කරන ලද දුර්වල පහර නොවන්නට තව ඉදිරියට යෑමට අවස්ථාව තිබිණ. පන්දු 59 කින් ධනංජය ලකුණු 51 ක් ලබා ගත්තේ තම 12 වැනි එක්දින අර්ධ ශතකයට හිමිකම් කියමිනි.

සිය සගයා දැවී ගියද සටන අත්නොහළ චරිත්, කෝඩුකාර දුෂාන් හේමන්ත සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ඇදගෙන ගියේය. ඊට පෙර දසුන් ශානක, චරිත් අසලංක සමග එක්ව පන්දුවට පහර දුන්න ද පා දඟ පන්දුවට මුහුණ දීමේදී දක්වනු ලබන දුර්වලතාව නිසා තම ඉනිම ලකුණු 17 න් අවසන් වූයේ පන්දු 16 ක් තුළදී ය.

අවසන් පන්දුවාරය තෙක්ම කඩුල්ලේ රැඳී සිටි අසලංක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යෑමකට හසුව තම ඉනිම ලකුණු 91 දී නිමාවට පත් කර ගත්තේය. කෙසේ වෙතත් පන්දු 95 කට මුහුණ දී තිබූ ඉනිමේ වැඩිම ලකුණුලාභියා සිය ඉනිමට හතරේ පහර 12 ක්ද එල්ල කර තිබිණ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගත් 209 වැනි ක්‍රීඩකයා වූ දුෂාන් හේමන්ත ඉනිමේ එකම හයේ පහර එල්ල කරන ලද පිතිකරුවා බවට පත්විය. 208 වැනි එක්දින හිස් වැස්ම පැළැඳි මතීෂ පතිරණ අවසන් පිතිකරුවා ලෙසින් පිටියට පිවිස එක් ලකුණකදී දුවද්දී දැවී යන විට වනිඳු හසරංගගේ ආදේශකයා ලෙසින් එක්දින වරම් දිනා ගත් දුෂාන් පන්දු 20 කදී ලකුණු 22 ක් ලබා ගත්තේය. පන්දුවාර 9 ක් ක්‍රියාත්මක කළ ද දුෂාන් ඊයේ කඩුල්ලක් දවා ගැනීමට වාසනාවන්ත නොවුණි.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 කදී ලකුණු 268 යි –

(චරිත් අසලංක 91, ධනංජය ද සිල්වා 51, දුෂාන් හේමන්ත 22, දසුන් ශානක 17, පැතුම් නිස්සංක 38, කුසල් මෙන්ඩිස් 11, ඇන්ජලෝ මැතිව්ස් 12, දිමුත් කරුණාරත්න 04, ළහිරු කුමාර 04, කසුන් රජිත 00, මතීෂ පතිරණ 01,

ෆරීඩ් අහමඩ් 42/2, ෆසල්හක් ෆරුකි 58/2)

ඇෆ්ගනිස්තානය පන්දු වාර 46.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 269

ඉබ්‍රහිම් සර්ධාන් 98, රහමට් ශා 55, හස්මතුල්ලා ශහිඩි 38, මොහොමඩ් නබි නොදැවී 27

කසුන් රාජිත 10-49-2, ලහිරු කුමාර 4.3 -21-1 මතීෂ පතිරණ 9-66-1

advertistmentadvertistment
advertistmentadvertistment