ග්‍රාමසේවා වසම් 18කට ඇති රෝහලක් විනාශයට යන ලකුණු

302

පන්විලතැන්න ප්‍රාදේශීය රෝහලේ බෙහෙත් වට්ටෝරුව දෙන්නවත් කෙනෙක් නැතිලු

රෝගීහු විරෝධතාවක

ගැටලුව බලධාරීන්ට දන්වා තිබෙනවා – ප්‍රධාන වෛද්‍ය නිලධාරිනඑච්.ආර්.ඩබ්ලිව්. වික්‍රමසිංහ

ගම්පොළ, පන්විලතැන්න ප්‍රාදේශීය රෝහලේ ඖෂධ සංයෝජකවරයකු නොමැති කමින් පැමිණෙන රෝගීන් ට ඖෂධ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වීම හා රෝහලට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලා රෝහල වෙත පැමිණි රෝගීහු රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.

වසර 75 කට වඩා පැරණි මෙම රෝහල ආරම්භ කිරීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ ශිවා ඔබේසේකර සෞඛ්‍ය අමාත්‍යවරිය අතින් සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මෙය ග්‍රාම සේවා වසම් 18 ක පවුල් හය දහසක ජනතාවක් ප්‍රයෝජන ගන්නා රෝහලකි.

කොන්ත්‍රාත් පදනම මත මෙහි සිටි ඖෂධ සංයෝජක වරයාට වැටුප් ලබා දීමට නොහැකි තත්ත්වයක් උදා වීමත් සමග ඉවත්ව ගොස් මාසෙකට අධික කාලයක් ගත වුවද මෙතෙක් ඖෂධවේදියකු පැමිණ නැති බව මෙම විරෝධතා කරුවෝ පවසති.

රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී එච්.ආර්.ඩබ්ලිව්. වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළේ දිනකට රෝගීහු 300 ක් හා සායනික රෝගීහු පන්සියයක් පැමිණෙන බවයි.

පවතින මෙම ගැටලුව බලධාරීන්ට දන්වා ඇති බවද ඇය සඳහන් කළාය.

සායන රෝගීන් සඳහා ඖෂධ ලබාදීමට අවට රෝහලකින් කෙනෙකු ගෙන්වා ගත්තත් එම රෝහලට ඖෂධ වේදියකු නොමැති වීම නිසා එය ද ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බව ඇය පවසන්නීය. මෙම රෝහල තුළ අවශ්‍ය අනෙකුත් කාර්ය මණ්ඩල ද හිඟ අතර පහසුකම් ද නොමැත.

රෝහලේ ගරාජයක් ආවරණය කරගනිමින් ගිලන් රථ රියැදුරන් ඇතුළු කිහිප දෙනෙකු සිටින අතර වෛද්‍යවරයකු සිටින්නේ ගැබිනි මව්වරු පරීක්ෂාවට තිබෙන කාමරයක් සකසාගෙනය.

කාර්ය මණ්ඩල අඩු කමින් මෘත ශරීරාගාරය කැලයට යටවී ඇති අතර රෝහලේ මෘත ශරීර ගම්පොළ රෝහලට යවන බව ඔවූහු පවසති. 1997 දී ඉදිකරන ලද රෝහලේ බාහිර රෝගී අංශය ඇතුළු අංශ කීපයක් ඇතුළත් ගොඩනැඟිල්ල ද කැලයට යට වී ගොස් අද මේ සියලු කාර්යයන් එක් ගොඩනැඟිල්ලකට සීමා වී ඇත. රෝගීන් ගේ මෙම විරෝධතාවය සඳහා පන්විලතැන්න රණසීහාරාම විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මයිලපිටියේ සමිද්ධිවංශ නායක හිමියෝ ද පැමිණ සිටියහ.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment