ජනතාවගේ හෘද සාක්‍ෂියට පිටුනොපෑ ශ්‍රීලනිපය

348

හෙට (02 දා) යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 72 වැනි සංවත්සරය නිමිත්තෙනි

විවිධ අරමුණු හා පරමාර්ථ මත බිහිවූ අතිවිශාල දේශපාලන පක්ෂ සංඛ්‍යාවක් මෙරට ලියාපදිංචි වී ඇත. ඒ විශාල පක්ෂ සංඛ්‍යාව අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. නිදහසින් පසු මේ රටේ ක්‍රියාත්මක වූ අන්ත දක්ෂිණාංශික බලවේගවලටත්, සම්ප්‍රදායික වමේ දේශපාලන පක්ෂවලටත්, ගැති නොවූ මැද පිළිවෙතේ ගමන් කරන ජනතාවාදී පක්ෂයක් ලෙස බිහිවූ ශ්‍රී ල.නි.ප.ගෙවී ගිය දශක හතකට එහා ගිය කාල සීමාව තුළ අප මාතෘභූමියට ඉටු කළේ සුවිශේෂී සේවාවකි.

“මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි” යන ප්‍රතිපත්තියේ පිහිටා පංචමහා බලවේගයෙන් සුසැදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය හැත්තෑදෙවැනි (72) සංවත්සරය සමරන මොහොත මේ රටේ දේශපාලන ගමන් මගේ තීරණාත්මක සන්ධිස්ථානමය අවස්ථාවකි. අප පක්ෂයේ නිර්මාතෘ දිවංගත බණ්ඩාරනායක ශ්‍රීමතුන් තුළ පැවති, ඒ උදාර වූ අරමුණ වෙනුවෙන් කැපවී, ඇද වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත්කරලීම වර්තමානයේ ප්‍රධානතම කාර්යභාරයක් බවට පත්ව ඇත.

විවිධ අරමුණු හා පරමාර්ථ මත බිහිවූ අතිවිශාල දේශපාලන පක්ෂ සංඛ්‍යාවක් මෙරට ලියාපදිංචි වී ඇත. ඒ විශාල පක්ෂ සංඛ්‍යාව අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. නිදහසින් පසු මේ රටේ ක්‍රියාත්මක වූ අන්ත දක්ෂිණාංශික බලවේගවලටත්, සම්ප්‍රදායික වමේ දේශපාලන පක්ෂවලටත්, ගැති නොවූ මැද පිළිවෙතේ ගමන් කරන ජනතාවාදී පක්ෂයක් ලෙස බිහිවූ ශ්‍රී ල.නි.ප.ගෙවී ගිය දශක හතකට එහා ගිය කාල සීමාව තුළ අප මාතෘභූමියට ඉටු කළේ සුවිශේෂී සේවාවකි.

වර්තමානයේ බිඳ වැටී ඇති ආර්ථිකය යළි ගොඩනැගීමට ඇති එකම විසඳුම ලෙස රජය හඳුන්වා දී ඇති රටට කිසිසේත් ඔරොත්තු නොදෙන අසාධාරණ බදු ප්‍රතිපත්තිය, පාරිභෝගික භාණ්ඩවල මිල වැඩිකිරීම, ජල විදුලි බිල්පත් ගාස්තු ඉහළ දැමීම, ඉන්ධන මිලෙහි සංශෝධනයන්, රාජ්‍ය දේපල විකුණා දැමීම වැනි ක්‍රියාමාර්ග නිසා සාමාන්‍ය ජන ජීවිතය දිනෙන් දින පීඩාවට පත් වෙමින් පවතී. රජයේ මෙම අත්තනෝමතික, දරදඬු ක්‍රියාමාර්ග නිසාම සමහර විදේශ ආයෝජකයින් ලංකාවෙන් ඉවත්වීම නිසා කර්මාන්ත රැසක් වැසීයෑම තුළ විශාල පිරිසක් විරැකියාවට ඇද වැටී ඇත.

ජනතාවගේ හෘද සාක්‍ෂියට පිටුනොපෑ ශ්‍රීලනිපය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමවාදී දේශපාලන කඳවුර මෙරටට හඳුන්වා දුන් ජනසතු ව්‍යාපාර, සේවක අර්ථසාධක අරමුදල, රාජ්‍ය බැංකු පද්ධතිය, නිෂ්පාදනය ප්‍රමුඛ කරගත් කර්මාන්ත, නොබැඳි විදේශ ප්‍රතිපත්තිය සහ දේශීය කෘෂිකර්මාන්ත නඟාසිටුවීම වැනි ජනතාවාදී ක්‍රියාමාර්ගයන් නිසා ජනතාව තුළ ඇති වූ සුරක්ෂිතතාවයන් ප්‍රගතිශීලී කඳවුර බෙදී ගිය සෑම අවස්ථාවකදීම රටට අහිමි වූ බව ඉතිහාසය සාක්ෂි දරයි. එවැනි අවස්ථාවල බලයට පත්වූ පිරිස් රාජ්‍ය ව්‍යවසාය විනාශකර දැමීමටත්, ජනතා සුබසාධක වැඩසටහන් කප්පාදු කිරීමටත් කටයුතු කළ බව සමස්ත රටටම නොරහසකි. වර්තමානයේදී ගොවීන්ට නිසි කලට ජලය ලබා නොදුන්, අධ්‍යාපනය ලබන දරුවන්ගේ විභාග පවත්වන කාල සීමාවන් තුළදී පවා විදුලිය කප්පාදු කරමින්, බාල ඖෂධ මඟින් රෝගී ජනතාවගේ ජීවිත අනතුරට ලක් කරමින් ක්‍රියා කළ වත්මන් රජය මෙවැනි අරාජික තත්ත්වයකට රට පත්කිරීමට ක්‍රියා කිරීම අතිශයින් කනගාටුදායක ය.

ජනතාවගෙන් දුරස්ව තම මතය පමණක් නිවැරදි යයි සිතමින් සාධාරණ වූ ජනතා ඉල්ලීම්, වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් සහ ශිෂ්‍ය සටන් දැඩි ලෙස මර්දනයට ලක්කරමින් ගෙන යන මෙම පාලන ක්‍රමය කඩිනමින් වෙනස් නොකළ හොත් එය යළිත් නිවැරදි කළ නොහැකි තත්ත්වයක් බවට පත්වනු ඇත. අද සිදු වන බුද්ධිගලනය පවා මෙම අත්තනෝමතික පාලනයේ අයහපත් ප්‍රතිඵලයන් බව පෙන්වා දිය හැක.

මෙම දුෂ්කර අවස්ථාවේදී සියලු ප්‍රගතිශීලී බලවේග එක කඳවුරකට ගොනුවී එකඟ විය නොහැකි කරුණු පසෙකලා, එකඟ විය හැකි කරුණු පිළිබඳ පටු වාද, හේදවලින් තොරව එකඟත්වය පළකර එක් පෙරමුණක් ලෙස කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගත යුතුවේ.

රටේ ජනතාව සිහින ලෝකයකට ගෙන යමින්, පවත්නා බැරෑරුම් ප්‍රශ්න අමතක කරලීමට සුරංගනා කථා කියාපාමින් ගෙන යන පාලන ක්‍රමයට තිත තැබිය යුතු අවස්ථාව දැන් එළඹ ඇත.

ඉතිහාසය පුරාම මේ රටේ ප්‍රගතිශීලී බලයන් එක් තැන් කර ජනතාවාදී ආණ්ඩු පිහිටුවීමට මූලිකත්වය ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. 1956, 1970, 1994 හා 2005 වර්ෂවලදී පිහිටු වූ සන්ධාන හා පෙරමුණු ආණ්ඩු ඒ පිළිබඳ මතකය අලුත් කරයි. අද දවසේද ඒ උත්තුංග කාර්ය භාරය ශ්‍රී ල.නි.ප.යේ නායකත්වය තුළින් ඉටු වනු දැක්ම මේ රටේ ප්‍රගතිශීලී ජනතාවගේ එකම අපේක්ෂාවයි. එය ඉටුකරලීම වත්මන් යුගයේ ප්‍රමුඛතම අවශ්‍යතාවයක් මෙන්ම ජාතියේ කාර්යභාරයක් බවට ද පත්ව ඇත.

මේ රටේ මහජන ඡන්දයෙන් බලයට පත්වූ ජනාධිපතිවරයකු ධුරයෙන් එළවා දමන්නටත්, පැවති ආණ්ඩුව වෙනස් කරන්නටත් මුල්වූ ගෝල්ෆේස් අරගලයට පින්සිදු වන්නට බලයට පත් ජනාධිපතිවරයකු අද රට පාලනය කරයි. අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පක්ෂය අනුගමනය කළ ක්‍රියාකලාපය එයට ප්‍රධාන දායකත්වය සැපයීය. එදා රට කරවූ පාලක පිරිස උද්ගතකරාවූ ගැටලුකාරී තත්ත්වයන්ට යම් සහනදායී විසඳුමක් උදා වුවද එය කෙටි කලකට පමණක් සීමා වූ තාවකාලික පියවරක් බව කිව යුතුය. එසේම බිහිවී කෙටි කලකින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැගි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිවකු නොසිතූ අයුරින් බරපතල දේශපාලන ව්‍යාකූල තත්ත්වයකට අද පත්වී ඇත.

අප පක්ෂ සංවත්සරය වෙනුවෙන් අගනුවරට පැමිණෙන දහස් සංඛ්‍යාත පාක්ෂික ජනතාවගේ හදවතට තට්ටු කර තම හෘද සාක්ෂියට එකඟව මතය ප්‍රකාශ කරන ලෙස ඉල්ලීමක් කළහොත් යායුතු අනාගත ඉදිරි මඟ මුළු රටටම ඇසෙන සේ ඔවුන් හඬගා කියනු නොඅනුමානය. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහත් ඉහළින් සමරන 72 වන සංවත්සරය ඒ උදාර කාර්ය භාරය ආරම්භ කරලීමේ මූලිකතම ප්‍රවේශයක් බවට පත්කර ගත යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රටේ සමස්ත ප්‍රගතිශීලි ජනතාව වෙතින් එම කාර්යභාරය ඉටු නොවනතෙක් ඒ සඳහා අනාගත පරපුර වෙතින් සමාවක් නොලැබෙන බව මාගේ විශ්වාසයයි.

ජනතාවගේ හෘද සාක්‍ෂියට පිටුනොපෑ ශ්‍රීලනිපය

● ෂාන් විජයලාල් ද සිල්වා
ශ්‍රී ල.නි.ප. ජ්‍යෙෂ්ඨ උපසභාපති
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment