එට්කා ගිවිසුමට හා ජාතික සම්පත් විකිණීමට එරෙහිව අත්සන් දසලක්ෂයක්

60

එට්කා ගිවිසුම අත්සන් කිරීමට සහ රාජ්‍ය ආයතන හා ජාතික සම්පත් විකිණීමට එරෙහිව අත්සන් දසලක්ෂයක මහජන පෙත්සමකට අත්සන් ගැනීම ඊයේ (20දා) කොළඹ 07, සමස්ත ලංකා බෞද්ධ සම්මේලන මූලස්ථානයෙන් ආරම්භ කෙරිණි.

මේ අවස්ථාවට පැවිදි සහ ගිහි විද්වතුන් හා රටපුරා සිටින බෞද්ධ සංවිධාන නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

මේ මහජන පෙත්සම සඳහා මුලින්ම පූජ්‍ය බෙංගමුවේ නාලක, මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද, ආචාර්ය බළංගොඩ සෝභිත, පූජ්‍ය කොටපොළ අමරකිත්ති සහ පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද යන හිමිවරු සහ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති චන්දු නිමල් වාකිෂ්ඨ, මේජර් ජෙනරාල් ජගත් ඩයස්, හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ සේනක කුමාරසිංහ යන මහත්ම මහත්මීහු අත්සන් තැබූහ. තවත් විද්වත්හු අත්සන් කළහ. ඉන්පසු සාමාන්‍ය ජනතාව වෙත අත්සන් තැබීමට අවකාශ ලබාදෙන ලදී.

රටපුරා බෞද්ධ විහාරස්ථාන හරහා මීට මහජනයාගේ අත්සන් ලබාගැනීමට කටයුතු යොදන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්දු නිමල් වාකිෂ්ධ මහතා පවසයි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සපුරා ක්‍රියාත්මක නොකරන ලෙසත්, එට්කා ගිවිසුම අත්සන් කිරීමෙන් වළකින ලෙසත්, රාජ්‍ය ආයතන හා ජාතික සම්පත් විදේශීය ජාවාරම්කරුවන්ට විකුණා දැමීමෙන් වළකින ලෙසත් සත්‍ය සෙවීමේ කොමිසම් පනත ඉවත් කර ගන්නා ලෙසත් ආණ්ඩුවට බලකරමින් අත්සන් කෙරෙන මේ ජනතා සංදේශය අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ සියලු පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සංවිධායකයෝ පැවැසූහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment