සේවා ගාස්තුව ගෙවන්න සේවයක් මොකටද

41

එක්තරා විශාල වනාන්තරයෙක්හි වාසය කළාවූ සියලු සත්ව සමූහයාගේ ආරවුල් අර්බුද ගැටුම් නිරාකරණය කිරීම සඳහා සමථ සභාවක් පැවතුනා. මේ සමථ සභාවේ විනිශ්චයාසනයේ කටයුතු කළේ රිළවෙක්! සාධාරණ තීන්දු ලබා දීම ගැන මේ රිල්වාන් විනිසුරුතුමා මුළු වනාන්තරය පුරාම හරි ප්‍රසිද්ධයි. ඉතිං දවසකට මේ සමථ සභාවේ පවතින නඩු කටයුතු සඳහා සාධාරණ තීන්දු තීරණ අපේක්ෂාවෙන් සිය ගණනක් චූදිතයෝත් පැමිණිලිකාරයෝත් පැමිණෙනවා! ඒ නිසාම රිල්වාන් විනිසුරුතුමා මේ නඩු කටයුතු විධිමත් ක්‍රමවේදයකට අනුව පවත්වා ගෙන යෑමට නියම වැඩපිළිවෙළක් යොදා තිබෙනවා. ඒ කියන්නේ සඳුදා අඟහරුවාදා බදාදා විභාග කරන්නේ අපරාධ නඩු. බ්‍රහස්පතින්දා සිකුරාදා සිවිල් නඩු. හැබැයි මෙතන පොඩි අප්සට් එකක් තියෙනවා. ඒ කියන්නේ සිකුරාදාට යෙදෙන සිවිල් නඩු විභාග වෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ මොකද කියනවා නම් හැම සිකුරාදාම වගේ රිල්වාන් විනිසුරුතුමා විනිශ්චය සභාවට පැමිණෙන්නේ නෑ. හේතුව තමයි බ්‍රහස්පතින්දා හැන්දෑවේ නඩු කටයුතු අවසන් වෙලා එතුමා කෙලින්ම අඹු දරුවන් බලන්න ගමට පාගනවා. මෙහේ රස්සාව කෙරුවට රිල්වාන් විනිසුරුතුමාගේ පදිංචිය ගව් ගණනක් එහාට වෙන්න වනාන්තරයේ කෙළවරේ. මෙහේ ඉඳලා එහාට යන්න අඩු ගානේ දවසක්වත් යනවා. ඒක හින්දා දවසක් නිවාඩු දාලා මෙහෙන් පිටත් වුණාම නිවාඩු දවස් දෙකේවත් ගෙදර දොරේ අඩුපාඩුකම් හොයලා බලලා අඹු දරුවොත් එක්ක සතුටින් ඉන්න පුළුවන්. සිකුරාදා නිවාඩුවක් දාපුවම දවස් තුනක් කෙලින්ම ගෙදරම පැලවෙන්න පුළුවන්. මේ හේතුව නිසා සිතුරාදාට දින දාපු සියලු සිවිල් නඩු විනිසුරුතුමා නැති නිසා කල් යනවා! සමහර සිවිල් නඩු තියෙනවා මේ වෙනකොට අවුරුදු තිහ හතළිහ කල් ඇදුන ඒවා මෙහෙම වෙන්න හේතුව තමා ර්ල්වාන් විනිසුරුතුමා නැති එක. නඩුවලට එන පාර්ශ්වකාරයෝ සමහර දාට ආපහු ගෙදර යන්නේ මල පැනලා! මේ විදිහට මේ අවුරුද්දේ යෙදුන නඩු වාර හතරක්ම විනිසුරු නොමැතිව කල්යෑම නිසා මල පැන්න නරියෙක් තමන්ගේ නීතිඥයා වූ කාක පුත්‍ර මුණගැසී මෙහෙම කිව්වා!

මොකක්ද සර් මේකේ තේරුම! මේ අවුරුද්දට නඩු වාර හතරක් තිබුණා! මේ දවස් හතරෙම ජජ් නෑ…. නඩුව කල්යනවා! දැන් මේ නඩුවට අවුරුදු තිහක්. පර්චස් දහයක ඉඩම් අර්බුදය ලිහා ගන්න දැන් නීතිඥ ගාස්තු හැටියට විතරක් වියදම් කරලා තියෙනවා. අක්කර දහයක් ගන්න සල්ලි!, උසාවිය මිදුලේදී තම නීතිඥ තැන අල්ලා ගත් නරින්ද්‍ර තෙමේ පොඩි දෝස් මුරයක් දැම්මා!. අපි මොකද කරන්නේ අයිසේ රෑ ජජ් හිටියා නම් අපි ලෑස්ති වෙලා හිටියෙ රිටන් සබ් මිෂන් දාලා ලබන නඩු වාරයේදී මේක ඉවරයක් කරන්න!.,

කෙහෙල් මල! නඩු වාරයකට එක දවසක් අපිට උසාවියට එන්න බැරි වුණොත් එක්කෝ කොස්ට් එක ගෙවන්න කියනවා. එහෙම නැත්තං එක්ස්පාටි ඩිෂිසන්ස් දෙනවා කියනවා. අපිට වෙන පාඩු අවාසි ඔක්කොමත් අපිම විඳදරා ගන්න ඕනෑ., රිල්වාන් විනිසුරුතුමා නොමැතිවීම කරන කොට නඩුව කල්යාමෙන් මල පැන්න පැමිණිලිකරුවා වූ නරියා තද අප්සට් එකෙන් පිටත්ව යෑමට සූදානම් වුණා.

“මං යනවා සර්”

නරිනිඳු කාක පුත්‍ර නීතිඥ තැනට කිව්වා

“හරි මේ…. මේ… නරින්ද්‍ර තමුන් මගේ ෆීස් ගෙව්වේ නෑ නේද,

“ෆීස්!!! ඒ කිව්වේ සර්!,

“ඇයි අයිසේ…. අද නඩුවට පෙනී සිටීමේ නීතිඥ ගාස්තුව,

“අද කොහෙද නඩුවට පෙනී හිටියේ අද නඩුව ඇහුවේ නෑනේ”

“හරි ඒ වුණාට අයිසේ මම තමුසෙගේ නඩුවට කතාකරන්න උසාවියට ආවනේ.

“මෙහෙමනේ සර්! ඔබතුමා ආපු එක හැබෑව. නමුත් මට ඔබතුමාගෙන් කිසිම සේවයක් ලැබුණේ නෑනේ!

“ඉතිං ඒක මගේ වරදක්ද උසාවියේ නඩුව ඇහුවේ නැතුවට මං පලිද”

“සර්! ගෙවීමක් කරන්න නම්… මට සේවයක් සිද්ධ වෙන්න එපායැ! දැන් බලන්න අපි

ගෙවීමක් කරන්න නම් අපිට යමක් ලැබෙන්න ඕනෑ. අපි කඩේකට යනවා. බඩුවක් ගන්නවා.! බඩුව අපිට සල්ලි මුදලාලිට….. සැලුන් එකකට යනවා… සේවය ලබා ගන්නවා ඒකට ගෙවනවා! ඉතිං අද ඔබතුමාගෙන් මට කිසිම සේවයක් ලැබුණේ නෑ. මං මොකටද ගෙවන්නේ නරියාගේ කතාවට කාක පුත්‍ර නීතිඥතුමාට මල පැන්නා.

“තමුන් දන්නවද ලැබීමකුත් නැතිව ගෙවීම් කරන දේවල් තියෙන විත්තිය!”

“ඒක මාර කතාවක්නේ හිඟන්නකුට රුපියලක් දුන්නත් ඒකට ලැබීමක් තියෙනවා! පිං! පිං, යි කිවූ නරියා කාක පුත්‍ර නීතිඥතුමාට පිටුපා යන්නට සූදානම් වුණා! කාක පුත්‍ර නීතිඥතුමා නීති පොත පෙරළා බලා නරියාට මෙහෙම කිව්වා. “අහගන්නවා! ලැබීමක් නැත්තං ගෙවීමක් නෑ කියන එකනේ තමුසෙගේ තියරි එක. එහෙම නං කොහොමද ලැබීමකුත් නැතිව අසූචි පෝර නැවකට බිලියන ගණනක් ගෙව්වේ”

“සර් ඔබතුමාලට අපිට පෝර නොලැබුනාට ඒ ඒ උදවියට වෙන වෙන ජාති ලැබෙන්න ඇතිනේ…., යි කිවූ නරියා කාක පුත්‍ර නීතිඥතුමාට බස් ගාස්තුව පමණක් ගෙවා සමථ මණ්ඩල බිමෙන් කෑලෑවට රිංගුවා!..

ආදර්ශය : අසූචි පෝර නොලැබුණාට ගෙවීම් කරන්න සිදුවන්නේ අමතරව ලැබෙන වෙන වෙන ජාති වලටය.

සරත්චන්ද්‍ර පත්තලඩුවන

advertistmentadvertistment
advertistmentadvertistment