භාෂා පරිවර්තක පත්වීම් ලැබූ 105න් සේවයට ආවේ 55යි – රජයේ භාෂා පරිවර්තක සංගමයේ ලේකම්

71

නිසි සේවා ව්‍යවස්ථාවක් නොමැතිවීම සහ වැටුප් අඩුවීම නිසා රජයේ භාෂා පරිවර්තකයන් ලෙස බඳවා ගැනීමට සුදුසුකම් ලැබූ 105 දෙනා අතරින් සේවයට පැමිණ ඇත්තේ 55ක් පමණක් යැයි රජයේ භාෂා පරිවර්තක නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ඒ. ඒ. සුජිත් අමරසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (19දා) පැවසීය.

භාෂා පරිවර්තකයන් ලෙස 658දෙනකු සිටිය යුතු වුවත් මේ වනවිට සිටින්නේ 350කට අඩු පිරිසක් බවද අමරසිංහ මහතා කීය. 2021 වසරේ භාෂා පරිවර්තකයන් 350ක් බඳවා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය පවත්වා සුදුසුකම් ලැබූ 105ක් බඳවා ගැනීමට අවසර ලබාදී තිබුණත් එම 105 දෙනාගෙන් පැමිණියේ ද 55ක් පමණක් බවද ඔහු පැවසීය.

භාෂා පරිවර්තකයන් ලෙස රාජ්‍ය සේවයට එක්නොවීමට ප්‍රධාන හේතුව නිසි සේවා ව්‍යවස්ථාවක් නොමැතීම නිසා අඩු වැටුපක් ලැබීම, උසස්වීම් නිසි ලෙස නොමැතිවීම බවද කී ඒ මහතා කැනඩා රජයේ මූල්‍ය අනුග්‍රහයෙන් භාෂා පරිවර්තකයන් සඳහා සේවා ව්‍යවස්ථාවක් සකස් කර එය ක්‍රියාවට නැංවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට ලබාදී ඇතත් එම අමාත්‍යාංශය එය වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොකර තබාගෙන සිටින බවද කීය.

6/2006 චක්‍රලේඛය මගින් 1994 වසරේ සකස් කර තිබෙන සේවා ව්‍යවස්ථාවේ සංශෝධනයන් සිදුකරන ලෙස උපදෙස් දී ඇතත් එය ද ඉතාම මන්දගාමීව සිදුකරගෙන යන බවද අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment